අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය අගෝස්තු 08 වැනිදා ඇරඹේ

    අගෝස්තු 02, 2019

    රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරේ.


    ඒ බව අනාවරණය කෙරුණේ දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමකදී ය. දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුව පළමුවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 08 වැනිදා සවස 3.24 ට යෙදෙන සුභ මොහොතින් ද, දෙවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 09 වැනිදා සවස 5.04 ට යෙදෙන සුභ මොහොතින් ද, තුන්වන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 10 වැනිදා සවස 5.08 ට යෙදෙන සුභ මොහොතින් ද, හතරවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 11 වැනිදා සවස 5.08 ට යෙදෙන සුභ මොහොතින් ද,  පස්වන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 12 වැනිදා සවස 5.05 ට යෙදෙන සුභ මොහොතින් ද, හයවන පේළි පෙරහැර පිටත්වීම අගෝස්තු 13 වැනිදා සවස 5.21 ට යෙදෙන සුභ මොහොතින් ද සිදු කිරීමට නියමිත ය.

    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අගෝස්තු 14 වැනි දින සවස 4.40 ට යෙදෙන සුභ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහැර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.

    අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.

    චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ
    මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 762 වන වරට ය.

    අගෝස්තු 15 වැනිදා සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර අගෝස්තු 22 දින තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා අගෝස්තු 23 දින පෙ.ව. 11.00 ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.

    දෙවිනුවර ඓතිහාසික රාජමහා විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන් සහ ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කේ.එච්. නන්දසිරි මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු දුරන්ධර රාමක්‍රිෂ්ණ තේනබදු මහතා  ඇතුළු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya