අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද අනුරාධපුරයේ දී ආරම්භ වෙයි

    ජූලි 24, 2019

    ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද සිට 24 සිට අනුරාධපුරයේ දී ආරම්භ වෙයි. මෙම ජාතික ප්‍රදර්ශනය ජූලි 27 දක්වා පැවැත්වෙයි.

    මෙහි සමාරම්භක උත්සවයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනය පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වේ. අද දින සවස 4.00 ට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවැනි ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

    මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙහි දී රාජ්‍ය ආයතන හා බැංකු වෙතින්ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි වේ. එමෙන් ම ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස්, මගපෙන්වීම් සහ පුහුණු අවස්ථාවන් ද මෙහි දී සැපයේ.
    ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබා ගත හැකි පරිදි මෙම ප්‍රදර්ශනය ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හතකට වෙන් කර ඇත.


    ව්‍යවසායකත්ව කලාපය මගින් ඔවුන්ට සිය ව්‍යාවසායකත්ව අපේක්ෂාව ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම සඳහා වන උපදේශකත්වයන්ගේ සිට එය ආරම්භ කිරීම සඳහා පොලී සහන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු එකම ස්ථානයක දී සිදු කර ගැනීමේ හැකියාව පවතී.

    මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ද දායකත්වය ලැබේ. අදාළ බැංකු වෙතින් ඒ මොහොතේම ණය මුදලක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද පවතී. රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාප මගින් විශේෂයෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳ සහ ඒවායේ කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා දෙනු ලබයි. රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු, ඒ ඒ අමාත්‍යාංශවල කාර්ය භාරයන් සහ එමගින් එම ජනතාවට සැලසෙන සේවාවන් පිළිබඳ තොරතුරු මෙහි දී ලබා ගත හැකි ය.


    ප්‍රදර්ශන භූමියට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන කලාපය වෙන් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව පාසල් විෂයානුබද්ධ කටයුතුවලට අදාළ පොත්පත් විශේෂ වට්ටම් සහිතව මෙහි දී අලෙවි කෙරේ. මීට අමතරව සිසුන් අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා වන විවිධ වැඩසටහන් මෙම ප්‍රදර්ශන කලාපය තුළ දී පැවැත්වේ. උසස් අධ්‍යාපන වරම් පිළිබඳ මගපෙන්වීම් ද මෙහි දී ලබා ගත හැකි ය.


    මෙම ප්‍රදර්ශනය නැරැඹීමට එන අයට පහසු මිලට භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ද හිමිවේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා නිමි ඇඳුම් හා ඇගලුම් තීරු බදු රහිත මිල ගණන්වලට මෙහි දී මිල දී ගත හැකි ය.
    මෙයට අමතරව නව නිපැයුම්කරුවන් වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කර තිබේ. සම්මාන ලාභී නව නිපැයුම්කරුවන් සහ උතුරු මැද පළාතේ නව නිපැයුම්කරුවන්ට මෙහි දී විශේෂත්වයක් හිමිවේ. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් වෙන් වූ මාධ්‍ය කලාපය තුළින් ජනතාවට සිය ප්‍රියතම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජිතයන් හමුවීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව පාසල් දරුවන්ට අදාළ විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය, රූපගත කෙරෙන ආකාරය හා ප්‍රවෘත්ති ඇතුළු විවිධ
    වැඩසටහන් විකාශය කරන ආකාරය ද දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වේ.

    මෙයට අමතරව රාජ්‍ය ආයතන මගින් පවත්වනු ලබන ජංගම සේවා රැසක් ද ප්‍රදර්ශනය පවත්වනු ලබන දින හතර පුරාම ක්‍රියාත්මකය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන
    සායන සේවා සහ රසායනාගාර සේවාවන් ජනතාවට නොමිලේ ලබා ගත හැකි ය.

    මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි කටයුතු සහ භෝග පාලන පිළිබඳ විවිධ වැඩසටහන්, පොල් හා කජු වගාව ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ දැනුවත් කිරීම් ද එහි දී සිදු කෙරේ. නීතියේ රැකවරණ අපේක්ෂා කරන අයවලුන් වෙනුවෙන් නීති ආධාර ද ලබා දෙනු ලැබේ. වෘත්තිය පුහුණු අපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන් ම වෙන් වූ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය.


    විදේශ කොන්සියුලර් සේවාවක් ද මෙහි දී ක්‍රියාත්මක කෙරේ. එමගින් අධ්‍යාපනය කටයුතු සහ රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කරන්නන්ට සිය අධ්‍යාපන ප්‍රතිඵල ඇතුළු අනෙකුත් අවශ්‍ය ලේඛන සහතික පත් සහතික කර ගැනීමේ කටයුතු සිදු කර ගත හැකි ය.
    අග්‍රමාත්‍යතුමා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදු කෙරේ.
    මීට අමතරව ගුවන් යානා, අවි ආයුධ සහිත ත්‍රිවිධ හමුදාවේ ආකර්ෂණීය ප්‍රදර්ශන කුටි සහ ක්‍රියාකාරකම් සහිත සංදර්ශන මෙහි දී දැක බලා ගත හැකි ය. පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැවැත් වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනක ම දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් සහ ජනප්‍රියතම ගායන ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya