අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව වේගයෙන් ගොඩනැගෙනවා-වරාය හා නාවික ක්ෂේත්‍ර‍ය නව මුහුණුවරකින් දියත් කරන සැලසුම් ක්‍රියාත්මකයි

    ජූනි 08, 2019

    පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව වේගයෙන් ගොඩනැගෙනවා.වරාය හා නාවික ක්ෂේත්‍ර‍ය නව මුහුණුවරකින් දියත් කරන සැලසුම් ක්‍රියාත්මක යැයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    2019 වසරේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර ප්‍ර‍වාහන හා සේවා සැපයුම් (the Transport Logistics Fair 2019) ප්‍ර‍දර්ශනයේ මෙරට කුටිය විවෘත කිරීම සඳහා පසුගියදා (05) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී වූ අතර එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

     

    “අපේ රට ඉතා වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ව්‍යාපාර කටයුතුත් පෙර පරිදි ක්‍රියාත්මකයි. ඒ වගේම සංචාරක කර්මාන්තයේ නැවත පිබිදීමක් දකින්න පුළුවන්. මෙම නැවත නැගිටීම පදනම් කරගෙන ශ්‍රී ලංකාව සමුද්‍රීය බහලුම් ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍ර‍ස්ථානය බවට පත්කිරීමට අප කැපවීමෙන් කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකාව සමුද්‍රීය හා බහලුම් ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍ර‍ස්ථානයක් බවට පත්කිරීමේ දී රටේ උපාය මාර්ගික පිහිටීම, ඉන්දියන් සාගරය හරහා වැටී ඇති නැගෙනහිර බටහිර යා කරන ප්‍ර‍ධාන නාවික මාර්ගයට ඉතා ආසන්න වීම සහ ලොව වේගයෙන්ම වර්ධනය වන වෙළඳපලවලට ළඟාවීමට ඇති හැකියාව යන කාරණා ඉතාම වැදගත් සාධක වෙනවා.”

     

    ගෝලීය බහලුම් ක්ෂේත්‍රයේ ප්‍ර‍ධාන සේවා සපයන සාමාගම් දකුණු ආසියාවේ ගෝලීය සේවා ලාභීන්ට සේවා සැපයීමේදී කොළඹ වරාය කේන්ද්‍ර‍ස්ථානයක් බවට පත් කරගෙන තිබේ. ඒ අනුව ඉන්දියානු අර්ධද්වීපය ශ්‍රී ලංකාව හරහා වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගනු ලබයි. 2018 වසරේ මුල් භාගයේ දී කොළඹ වරාය ඇල්ෆාලයිනර් වර්ගීකරණයට අනුව ලොව ප්‍ර‍ධාන වරායන් තිහ අතරේ වේගයෙන්ම වර්ධනය වන බහළුම් සේවා සපයන වරාය බවට පත්විය. එය ශ්‍රී ලාංකේය වරාය ක්ෂේත්‍ර‍යට ඉතා වැදගත් වන්නේ ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍ර‍ය සම්බන්ධ සුවිශේෂී වර්ගීකරණයක ප්‍ර‍මුඛස්ථානය බවට කොළඹ වරාය පත්වූ පළමු අවස්ථාව බැවිනි. එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොළඹ වරාය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වැදගත් උපාය මාර්ගික තීරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. එය තිරසර සංවර්ධනයකට අත්‍යවශ්‍ය මූලික කාරණයක් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

     

    “ඒ වගේම මම සඳහන් කරන්න ඕන හම්බන්තොට වරායේ භූගෝලීය පිහිටීම නාවික වෙළඳාමට පමණක් නෙවෙයි පොදු ආනයන අපනයන ක්‍රියාවලියට ද වැදගත් වෙනවා. එමගින් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ලබාදීමට හැකි වී තිබෙනවා. එමෙන්ම හම්බන්තොට වරාය බහාලුම් ක්ෂේත්‍රයේ කේන්ද්‍ර‍ස්ථානයක් කිරීමේ දී සැලකිය යුතු ඉතා වැදගත් සාධක වශයෙන් තරගකාරී සේවා සැපයීමත්, සේවා ලාභීයාට පහසුවෙන් සේවා ලබාගත හැකි අයුරින් ක්‍රියාත්මක වීමත් (door to door delivery), ආකර්ෂණීය දීමනා සහ නොමිලේ ලබාදෙන වරාය පහසුකම් සහිති වීමත් (attractive concession and free port facility), ගබඩා කිරීමට ප්‍ර‍මාණවත් අංගන පහසුකම් වීමත්, වසර පුරාවට තිබෙන වියළි කාලගුණයත් යනාදී කාරණා දක්වන්න පුළුවන්.

     

    එපමණක් නොවෙයි අප රජය අභ්‍යන්තර ප්‍ර‍වාහන සේවා සීඝ්‍ර වර්ධනයක් කරා ගෙනයමින් දුම්රිය ‍මගීන්ට බස් රථ සඳහා පිවිසීමටත්, බස් රථවල මගීන්ට දුම්රිය වෙත පිවිසීමටත් හැකි වන අයුරින් ලංකාවේ පළමු වැනි බහුවිධ ප්‍ර‍වාහන මධ්‍යස්ථානය කොට්ටාව අධීවේගී මාර්ග පිවිසුම ආසන්නයේ මෙම වසරේ අප්‍රේල් මස දී විවෘත කෙරුණා.

     

    එමෙන්ම කොළඹ අවට සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඇති කරමින් පොදු ප්‍ර‍වාහනය ආරක්ෂිත සහ නවීන පහසුකම් වලින් යුක්ත සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් දියත් කර තිබෙනවා. එම පද්ධතිය කිලෝමීටර 15.07 ක් පුරාවට විහිදී ඇති අතර දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වෙනවා. එම දුම්රිය මාර්ගය කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි වැටී තිබෙනවා. තවදුරටත් අප රජය ශ්‍රී ලංකා අධීවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝමීටර 145 ක් එක් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එම ව්‍යාප්ත කිරීම සිදු කරන්නේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට අතර 96 km ක ප්‍ර‍මාණයත්, කොළඹ වට රවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙළවර පිටිය දක්වා කිලෝමීටර 9.63 ක ප්‍ර‍මාණයකුත් වේ. එහි ඉතිරි කිලෝමීටර ප්‍ර‍මාණය මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කිරීමට නියමිතයි. මෙයින් පෙන්නුම් කරන්නේ අප රජය මාර්ග පද්ධති, බහලුම් ප්‍ර‍වාහනය ආශ්‍රිත පහසුකම් සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය යන විෂයන්හි දී ඒකාබද්ධ අරමුණක් සඳහා ක්‍රියාකරන බවයි.

     

    ඒ වගේම 2019 වසරේ ප්‍ර‍වාහන හා සේවා සැපයුම් ප්‍ර‍දර්ශනයට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් මා සන්තෝස වනවා. මෙයින් ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ට ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍ර‍ජාව සමග සමබන්ධතා ඇති කරගන්න මහත් පිටුවහලක් ලැබෙනවා. මම හිතනවා මෙම ගොඩනගාගත් සම්බන්ධතා වර්ධනය වෙලා අපගේ කීර්ති නාමය පැතිරෙන්නත්, බලපාපොරෙත්තු අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්නත් හේතු වෙයි කියලා.....” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

     

    එම අවස්ථාවට Muenchen Messe හි ප්‍රධාන විධායක නිලධාරී Steffan Rummel මහතා, ජර්මනියේ ඩිජිටල් යටිතල පහසුකම් හා ප්‍ර‍වාහන අමාත්‍ය Andreas Scheuer මහතා සහ බාවේරියන් රාජ්‍ය අමාත්‍ය Dr Hans Reichhart මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya