අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කරනවා- නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

    මාර්තු 23, 2019

    වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ අයවැය තෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    නීතිමය රාමුව වෙනස් කරන්න, නව නීති හදුන්වා දෙන්න අපේ අමාත්‍යාංශය පසුබට වෙන්නේ නැහැ. කලාපීය විචලනයන්, ආසියානු කලාපයේ සිදුවන වෙසස්කම් සම්බන්ධයෙන් අපි ගැඹුරින් සළකා බලනවා. ක්‍රියාත්මක කරන බදු රාමුව තුළ ගැටළු තිබෙනවා නම් ඒවාට මැදිහත් වෙනවා. දේශීය කර්මාන්තකරුවන් අපිට අයිතියි. 2014 වනවිට ඇඹිලිපිටිය වාලච්චේන කඩදාසි කම්හල් වැසී ගියා. බදු ලිහිල් කිරීම ඊට හේතුවුණා. ඇඹිලිපිටය කඩදාසි කර්මාන්ත ශාලාව පෞද්ගලික ආයතනයක් සමඟ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    පරන්තන් කර්මාන්ත ශාලාව ද ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා. කන්කසන්තුරේ තිබුණු දැවැන්තම සිමෙන්ති කර්මාන්ත ශාලාව දැන් ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා.

    ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් අපිට නැහැ. අපේ අමාත්‍යාංශය විසින් මේ වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කරනවා. කර්මාන්තයක් පටන් ගන්න යනවිට අපේ රටේ ගතවන කාලය වැඩියි. ඉඩම් ලබාගැනීමේ ගැටළු තිබෙනවා. මේ සම්බන්ධයෙන් විසඳුමකට යන්න සාකච්ඡා කරනවා. එයින් ඉඩම් පිළිබඳ තිබෙන ගැටළුව විසඳා ගන්න පුළුවන් වෙයි. මන්නාරම, අලිංමකඩ ලුණු ලේවායන් ලබාගන්න හැකි තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ ලුණු අස්වැන්න පිටරටටත් යවන්න හැකි මට්ටමින් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි. නිෂ්චිත කාල රාමුවක් සමඟ අපිට වැඩසටහන් තිබෙනවා. ආයතන 32ක් අපේ අමාතයාංශයට තිබෙනවා.

    සම්ප්‍රදායික කලාවන් රැක ගනිමින් අනාගතයට ගෙනයන්න අපි මුදල් උත්පාදනය කරන්න ඕන. අපේ ශිෂ්ඨාචාරය රුපියල් ශතවලට විදෙස් රටවලට විකිණිය යුතු නැහැ. මෙවර අයවැයට යෝජනාවක් ඉදිරිපත් කළා කාන්තාවන්ටම වෙන්වූ කර්මාන්ත පුරයක්.

    ලංකාවේ පළමු කාන්තා ව්‍යවසායක කර්මාන්ත පුරය ආරම්භ කරන්න අපි කටයුතු සම්පාදනය කර තිබෙනවා. නංවමු ලංකා වැසටහන යටතේ රුපියල් බිලියන දෙකක මුදලක් වෙන්කර තිබෙනවා. ව්‍යවසායකයන් ලක්ෂයක් සවිබල ගන්වන්න, නවකයන් සමාජ ගතකරන්න මේ තුළින් පියවර ගන්නවා. හුදෙක් ආධාරයක් සහ පුහුණුවක් දී එතනින් එළියට යන වැඩසටහන් බවට පත්කරන්න සූදානම් නැහැ. එය එතනින් ඉදිරියට ගොස් රටේ ආර්ථිකයට දායකවන වැඩසටහන් බවට පත්කරන්න කටයුතු කරනවා.

    දේශීය කර්මාන්ත නංවන්න ප්‍රායෝගික වැඩපිලිවෙලක් අවශ්‍ය වෙනවා. අපේ දේ ගන්න අවශ්‍ය පහසුකම් දෙන්න අපේ අමාත්‍යාංශය පියවර ගන්නවා.සියලු කර්මාන්තකරුවන් ජාතික මට්ටමින් ගොනු කරන්න සැලසුම්කර තිබෙනවා. ලංකාවේ දැනට පළාත් මට්ටමින් ගොනුව සිටින කර්මාන්තකරුවන් ද මේ සඳහා දායක කරනගන්නවා. කර්මාන්තකරුවන් වාර්ෂිකව ඇගයීමට ලක්කරන්න ඉදිරියේ දී සම්මාන උලෙලක් පවත්වනවා. පුල්මුඩේ ඛණිජ වැලි නිධිය සම්බන්ධයෙන් මේ දිනවල කතා වෙනවා. එය අපේ රටේ වටිනා සම්පතක්. මේ සම්පත විකුණන්න යන බවට ප්‍රචාරය කරනවා. නමුත් අපි මේ පිළිබඳ කිසිඳු සැලැස්මක් නැහැ. මෙය සැලසුම් සහගතව කරන කුමන්ත්‍රණයක්. මේ ඛණිජ නිධිය විකුණන්නේ නැහැ. අපි ජාතිවාදය ඇතිකළ යුතු නැහැ. අද මහජන මුදලින් ජීවත් වන ජනතා නියෝජිතයින් ලෙස විල්පත්තුව සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා නම් සර්ව පාක්ෂික තේරීම් කාරක සභාවක් පත්කරන්න කියා මම ඉල්ලීමක් කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya