මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව සරසවියට නව වෛද්‍ය පීඨයක්- අද සිසු අයිතියට

    ජනවාරි 17, 2019

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා සබරගමුව විශ්ව විද්‍යලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය අද (17) පෙරවරු 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමට නියමිතව ඇත.

    වෛද්‍ය පීඨය විවෘත කිරීමට සමගාමීව නිදහස් සෞඛ්‍ය සේවාවන් හි ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීමේ අරමුණින් රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම එදින පෙරවරු 9.30 ට සිදු කරන බව රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව නව වෛද්‍ය පීඨ 03 ක් ස්ථාපිත කිරීමට නියමිතය. සබරගමුව විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව එම වෛද්‍ය පීඨ ස්ථාපිත කිරිමට කටයුතු කර ඇත. එම වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සදහා රත්නපුර මහ රෝහල, කුළියාපිටිය මුලික රෝහල, කළුතර මහ රෝහල සහ මොරටුව දීසා රෝහල සංවර්ධනය කිරිමට ද පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන 10 වන වෛද්‍ය පීඨය සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව විවෘත කරන අතර, නව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරිමත් සමගම ලංකාවේ පළාත් 09 න් 08 කටම වෛද්‍ය පීඨ ස්ථාපිත කර ඇත.
    බලංගොඩ පඹහින්නේ පිහිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සදහා රජය මගින් 2018 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කරන ලදි. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ ස්ථාපිත කර තිබූ එකම පුහුණු මධ්‍යස්ථානය වෛද්‍ය පීඨයක අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන සබරගමුව වෛද්‍ය පීඨය පිහිටුවීමට පවරා දෙනු ලැබූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි. විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඇතුලු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියළු නිලධාරින්ගෙන් ලැබුණු සහාය අගය කරන බව උපකුලපතිවරයා ප්‍රකාශ කරයි.

    වෛද්‍ය පීඨයේ අයිතිය සම්බන්ධ සියළු ඔප්පු ඇතුලු ලේඛණ උත්සවය පැවැත්වෙන දින සබරගමුව විශ්ව විද්‍යාලයට ලබාදීමට නියමිතය. පළමු අදියර යටතේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 ක් බදවා ගන්නා අතර, ඔවුන් ලියාපදිංචි කිරිම අද පෙරවරුවේ සිදු කිරිමට නියමිත බව උපකුලපතිවරයා සදහන් කරයි. මේ වනවිට වෛද්‍ය පීඨයට අවශ්‍ය අතිනවීන පහසුකම් සහ තාක්ෂණයෙන් යුතු රසායනාගාර පහසුකම් සැකසිම අවසන් වී ඇත. බදවා ගන්නා සිසුන්ට අංග සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම් මෙහි ස්ථාපිත කර ඇත. නව වෛද්‍ය පීඨය විවෘත වීමත් සමග රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමෙන් සබරගමුව පළාතේ ජනතාවට පමණක් නොව ඌව පළාතේ ජනතාවට ද විශාල සහනයක් ලැබෙයි. රත්නපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයක් අළුතෙන් ස්ථාපිත කිරීම ද මෙම වසර තුල දී සිදු වන අතර, ඒ සදහා අවශ්‍ය මුදල් ද වෙන්කර ඇත.

    මෙම වැඩපිළිවෙල සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ලැබුනු පුර්ණ සහයෝගය අගය කරන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කරයි. මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතාගේ උපදේශකත්වය මත ක්‍රියාත්මක වන වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපතිවරිය ලෙස මහාචාර්ය නිර්මලී වික්‍රමසිංහ මහත්මිය කටයුතු කරයි.

    මේ අවස්ථාවට උත්සවයට නගර සැළසුම් හා ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රමුඛ සබරගමු පළාතේ මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya