අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය 2019 දී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවනවා-ජනපති

    දෙසැම්බර් 22, 2018

    ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සඳහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන් නැඟී සිටින අභිමානවත් පුරවැසියෙකු බිහි කිරිම අරමුණු කර ගනිමින් එම වැඩපිළිවෙළ වඩා පුළුල් සහ කාර්යක්ෂම කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ජනවාරි 23 වනදා සිට 30 වනදා දක්වා වන සතිය ග්‍රාමශක්ති සතිය ලෙස ප්‍රකාශයට පත් කරන අතර එම සතිය තුළ මෙම වැඩසටහන සමග ජනතා පෙළගැස්ම සහ ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

     

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ,ඊයේ (20) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට ඉතා දිළිඳු ජනතාව ජීවත්වන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

     

    රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ජනතාව යන අංශ තුන අතර සම්බන්ධීකරණ හා සහයෝගීතාව ඇති කරමින් මේ වන විට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සංවිධාන ගත වූ ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. එහි ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති සමිති හා සමාගම් සංඛ්‍යාව 1020 ඉක්මවයි. ඉන් 700 ක් දිළිඳුබව පදනම් කර ගනිමින් තෝරා ගෙන ඇති අතර, අද ඒවා ක්‍රියාත්මක වනුයේ ප්‍රජාපාලිත ගම්මාන ලෙසිනි. තවත් ගම්මාන 300 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට මෙම ග්‍රාමශක්ති සමිති සහ සමාගම් සඳහා මුදාහැර ඇති මුදල රුපියල් ලක්ෂ 10,000 කට අධිකය.

     

    ලබන වසරවන විට මෙය ග්‍රාමශක්ති සමිති හා සමාගම් 4000 ක් දක්වා ඉහළ නැංවීම අපේකෂාව වන අතර, මේ දක්වා දිවයිනේ ප්‍රමුඛ සමාගම් රැසක් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමිති සමඟ ගිවිසුම්වලට එළැඹිමෙන් මෙම වැඩසටහන කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කර තිබේ.

     

    පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේ දී ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක වන අන්දම සහ එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

     

    මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 3.8%ක් වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 2.2% කි. එම ජනතාවට වැඩි ප්‍රතිලාභ හිමිවන අයුරින් නව සැලසුම් සකස් කිරීමට ජනාධිපතිතුමා මෙහි දී උපදෙස් දෙනු ලැබීය. 

     

    උතුරු මැද පළාතේ ග්‍රාමශක්ති ජනතා සමාගම් සහ පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරිණි. ඒ ග්‍රාමශක්ති ජනතා සමාගම් මගින් සිදු කරනු ලබන නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි.

     

    මීට අතරව මධ්‍යම නුවරගම්පළාත, විහාරගංවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමශක්ති ජනතා සමිතිය සඳහා යෝගට් සීලර් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 20 ක් ලබාදීම සහ කැබැතිගොල්ලෑව ජනතා සමාගම සඳහා රුපියල් ලක්ෂ 10 ක් ලබාදීම ද ජනාධිපතිතුමා සිදු කෙරිණි.

     

    එමෙන්ම ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන ප්‍රතිපාදන අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබාදීම ද සිදු කෙරුණු අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 66 ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 21 ක් ලබාදීම සිදු විය.

     

    අමාත්‍ය පී. හැරිසන්, හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

     

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

     

    එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ඉතා අඩු පහසුකම් සහිත සහ අඩුආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා එහිදී විමසා බැලීය.

     

    අනතුරුව ජනාධිපතිතුමා ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකට එක් විය.

     

    ජනතාව තම මූලික ගැටලු කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර පානීය ජල ගැටලුව, වන අලි ගැටලුව, නිවාස ගැටලු, සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ගැටලු සහ ඉඩම් ගැටලු ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. එම ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් මූලික අදියර යටතේ රුපියල් ලක්ෂ 250 ක මුදලක් ලබන සතිය වන විට ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

     

    පාසල්වල පවතින අඩු පාඩු රැසක් පිළිබඳව විදුහල්පතිවරුන් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒවා කඩිනමින් ඉටුකර දීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සහ ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

     

    ගම්මානයේ ඉතා අඩු පහසුකම් සහිත නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සඳහා පෞද්ගලික ව්‍යාපෘතියක සහය ලබාගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මෙම සියලු කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මාස 02 කින් පසු නැවත එම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ප්‍රදේශයේ පෙරපාසල් දෙකක් සංවර්ධනය සඳහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ග්‍රමශක්ති සමිතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

    දීර්ඝ කාලයක් පුරා තමන් අපේක්ෂා කළ සංවර්ධනය තමන් වෙත ලබාදීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙළ මෙහිදී ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මෙන්ම ජනතාවගේ නොමඳ පැසසුමට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya