අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිකාල ක්‍රමවේදය පිටු දකිමු - ලැබෙන වැටුපට වැඩ කරමු.... ඇමති අර්ජුන රණතුංග පවසයි

    ජනවාරි 03, 2016
     
    රාජ්‍ය සේවකයින් ලෙස සියලු දෙනා අතිකාල ක්‍රමවේදය පිටු දැකීමට කාලය එලැඹ ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    එතුමා අවධාරණය කරන්නේ වත්මන් ආණ්ඩුවේ ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සියලුම රාජ්‍ය සේවකයින් තමන්ට ලැබෙන වැටුපට සාධාරණත්වයක් හිමි වන සේ ස්වකීය වගකීම් ඉටු කළ යුතු බවයි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ 2016 වසරේ ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීමේ නිල උත්සවයට සහභාගි වෙමින් අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. එම  නිල උත්සවය නව වසර පිළිගැනීමේ රාජ්‍ය සැමරුම් වැඩසටහනට සමගාමීව වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    “පසුගියකාලේ මූලික වු‍‍ණේ පුද්ගලයා. නමුත් අද මූලික වෙලා තියෙන්නේ අමාත්‍යාංශය. මම හිතන්නේ අපි අද වෙනස ඇති කළේ එතන තමයි. අපි මේ ක්‍රියාදාමය පසුගිය අවුරුද්දේ ඉතාමත් විශිෂ්ට අන්දමින් ක්‍රියාත්මක කරගෙන ගියා. 
     
    අමාත්‍යාංශයක් හැටියටත් ඒවගේම අධිකාරිය සහ අනෙකුත් ආයතන සියල්ලම එකතුවෙලා මේ අමාත්‍යාංශය උසස්ම අමාත්‍යාංශය බවට පත් කරලා තියෙනවා. අපිට ඉදිරි කාලයේදී මීට වඩා ලොකු වගකීම් තියෙනවා. 2020 වෙනකොට කොළඹ විතරක් නෙවෙයි ලංකාව මුහුදු ගමන් මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍රය බවට පත්වෙනවා. දැනටම පත් වෙලා තියෙනවා. 
     
    ඒනිසා අපිට තියෙන වැඩ ප්‍රමාණය විශාල වෙනවා. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මගේ දරුවට මොනවා හරි වෙනකොට රිදෙනවා වගේම අනිත් කෙනාගේ දරුවට මොනවා හරි වෙනකොටත් අපිට රිදෙන සංස්කෘතියක් අපි ඇති කළ යුතුයි. පාරේ යන දරුවෙකුට, කාන්තාවකට මොනවා හරි වරදක් වෙනකොට මගේ නෙවයි කියන්නේ නැතිව මේ හැමෝම මගේ කියන ක්‍රමවේදය අපි මේ නව වසරේ ඉදිරිපත් කරනවා. ඒ වගේම සියලුම ජාතීන් එකට ගෙනයන පිළිවෙළක් ක්‍රියාත්මක කල යුතු වෙනවා. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය.
     
    මේ රටේ ආදර්ශවත්ම  අමාත්‍යාංශය සහ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්කිරීම වරාය සහ නාවික අමාත්‍යාංශයේ මූලික අරමුණයි. වරාය සහ නාවික අමාත්‍යාංශ පසුගිය වසරේ වැඩිම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ අමාත්‍යාංශය ලෙස ඉදිරියෙන් සිටින බවද  උත්සව සභාව අමතමින් අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසීය. 2020 වර්ෂයේදී මුහුණ දෙන අභියෝග ජයගැනීමට වරාය සහ නාවික අමාත්‍යාංශය ශක්තිමත් බවද ආමාත්‍ය ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසීය. 
     
    එතුමා වැඩිදුරටත් කියා සිටියේ,“මුළු රටම මේ අමාත්‍යාංශය දිහා බලාගෙන ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. රටක් දියුණුවෙන්න නම් ඒ රටේ වෙළදාම, වාණිජ කටයුතු දියුණු වෙන්න ඕන ජාත්‍යන්තර වශයෙන්. ඒ වගේම ආනයන අපනයන කටයුතු පහසුවෙන් සිදු කෙරෙන්න ඕන. එම කටයුතු කෙරෙන්න රටේ කර්මාන්ත වගේ දේවල්, අනෙකුත් ව්‍යාපාර සංවර්ධනය වන අතරේදී ආනයන අපනයන කටයුතු කරන්න හොඳ පහසුකම් තියෙන්න ඕන. හොඳ වරායක් තියෙන්න ඕන, හොඳ ගුවන් තොටුපොළක් තියෙන්න ඕන, එම වරාය හොඳින් කාර්යක්ෂමව කලමනාකරණය කරන්න ඕන. ඒ සඳහා කටයුතු කෙරෙන්න ඕන. මම හිතන්නේ අපේ වරාය පසුගිය අවුරුද්ද ඇතුළත ඉතා ඉහළ මට්ටමකට පත්වුණා. එය අපිට සතුටට කාරණයක්. ......” යනුවෙනි.
     
    මෙම උත්සවයේදී පසුගිය වසරේ මතක සටන් ඇතුළත් තිළිණද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතාට මෙහිදී පිරිනැමිණ.
     AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya