නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හෙල උරුමයේ කොළඹ දිසා සමුළුව අපේ ගමේදී

    දෙසැම්බර් 07, 2015
     
     
    "අද රට රකිමු හෙට දිනට මග කියමු" යන තේමාව යටතේ ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී  පසුගියදා පැවැත්වුණි.
    එහිදී සම්මේලනය අමතා අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ”අද රට රකිමු හෙට දිනට මග කියමු යන තේමාව යටතේ අද මේ දිසා සභාව අපි පවත්වන්නේ. අපි අද රට රකිමු කිව්වහම කවදත් අපි රට රකින්න ඉදිරිපත් වෙච්ච බලවේගයක්. මේ රටේ ජාතික ආරක්‍ෂාව තමයි සියළුම කරුණුවල පදනම පසුබිම වන්නේ. එනිසා රටේ එනිසා රටේ ආරක්‍ෂාවට යම්කිසි අර්බුදයක්, අනතුරක් තියෙනවා නම් රට රකින්න අපි අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා.ඒ මහා මෙහෙවර අපි එදා කළා. අපිට ඒ ගැන ආඩම්බරයි. හෙටත් යම්කිසි ආකාරයේ අභියෝගයක් රටට එල්ල වෙනවා නම් අපි රට රකින්න අපි ඉදිරිපත් වෙන බව අපි බොහොම අභිමානයෙන් කියනවා. මොකද ලෙයින් කඳුලූවල උරුමය තියෙන්නේ අපට නිසා. 
     
    ඊළගට අපි යෝජනා කරනවා හෙට රට හදමු කියලා, මේ රටට අද අවශ්‍ය මොකද්ද, අද තියෙන දැවෙන ගැටළු මොනවද අන්න ඒ ගැටලූවලට අපි ප‍්‍රායෝගික විසඳුම් හොයන බවට අභිමානයෙන් යුතුව මැදිහත් වෙනවා. සමහර දේශපාලන පක්ෂවල නායකයෝ විවේචන කරන්නයි හරබර කතා කරන්නයි පමණයි දන්නේ පාලනයක් භාර දුන්නම ඒක නිවැරදිව කරන්න දන්නේ නැහැ. අපි ඉදිරියේ තිබෙන අභියෝගවලට අපි සූදානම් විය යුතුයි. මේ රට ශීලාචාර ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කරන්න අපට පිළියම් අවශ්‍යයි. අද මේ රටේ සාමාන්‍ය වැඩකරන කම්කරුවෙක්ගේ ආදායම රුපියල් 1000 ඉක්මවලා තියෙනවා. හැබැයි පාරේ යාචකයෝ ඉන්නවා. අපි දුප්පත්කම නැති කරන්න හැම දවසකටම කතා පවත්වලා තියෙනවා. දුප්පත්කම නැතිකරන්න නොයෙක් වැඩපිළිවෙල් ඉදිරිපත් කරලා තියෙනවා. ජන සවිය, සමෘද්ධි හා දිවිනැගුම ආදී වැඩසටහන් දියත් කරලා තියෙනවා. නමුත් අපිට බැරි උනා මේ රටේ යාචකයින්ගේ ප‍්‍රශ්නය විසඳා ගන්න. මේ ප‍්‍රශ්නය ගැටළුවක් හැටියට අරං අප විසඳන්න  ඕනේ. කොළඹ පැල්පත්වාසී දුගී ජන කණ්ඩායමක් ජීවත් වෙනවා. පරම්පරාවේ පරම්පරාවට මේ ජනතාවගේ ජීවන තත්වය ඉහල ගිහිල්ලා නැහැ. ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න වැඩපිළවෙලක් තිබිලා නැහැ. ඒක නිසා අපි ඒකට වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.  මේ රට ඉතා දියුණු රටක් කියලා කියනවා. නගරයට ගියාම ඉතාමත් ලස්සනට තියෙනවා. නමුත් තවත් තැනක කැලි කසල කඳු තියෙනවා. ඒවා ඒ ඒ නගර සභාවල වගකීම. නමුත් ඒවා විසඳන්න අද ජාතික මැදිහත්වීමක අවශ්‍ය වෙලා තියෙනවා. නැත්නම් රට ඉතාමත් බරපතල පාරිසරික ව්‍යසනයකට පත්වෙන්න පුළුවන්. හුගක් අය බලන්නේ මේක තල තල මේකෙන් ධනය උත්පාදනය කරන්න. නමුත් මේ ප‍්‍රශ්න විසඳන්න ඉතාම අපහසු බව කියන්න  ඕනේ. දේශපාලන විරුද්ධවාදීන් නිසා තමයි මේ රටේ කසල කඳු ගොඩනැගිලා තියෙන්නේ. බ්ලූ මැණ්ඩල් කුණු කන්ද 1997 දී ඉවත් කරන්න ලෑස්ති වෙනකොට කොළඹ කුණු අපට එපා කියලා දේශපාලකයෝ උද්ඝෝෂණ කෙරුවා. එතකොට එතන තිබුණේ පුංචි කුණු කන්දක් නමුත් අද ඒක විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා.  2010 අපි පරිසර අමාත්‍යංශයේ ඉන්න කොට ඒක විශාල ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා. කොලොන්නාවේ කුණු කන්දට 2008 අපි වැඩපිළිවෙලක් සකස් කෙරුවා ඒක කරන්න දුන්නේ නැහැ. එදත් කොළඹ කුණු අපට එපා කියලා විරෝධතා ඇති කළා. අද කුණු ටොන් ලක්ෂ 30 ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. පානීය ජල බිඳක් ගන්න බැරි තරමට අද ජලය දුෂණය වෙලා තියෙනවා, කැළණි ගඟ විනාශ වෙලා තියෙනවා. දශ ලක්‍ෂ ගණන් ජනතාවකට අද මෙම ප‍්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. අපි මේවාට විසඳුම් දෙන්න හඳනකොට ඒවාට විරුද්ධ වෙලා පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න කටයුතු කළ නිසා අද විශාල සෞඛ්‍ය ගැටලූ බවට පත්වෙලා තියෙනවා. 
     
    අද දැන උගත් මධ්‍යම පාන්තික ජනතාව විශාල ගැටලූවලට මුහුණ දෙනවා.  ශක්තිමත් පොදු ප‍්‍රවාහන සේවයක් නොමැති කමින් අද පාරට බැස්සම වාහන පිරිලා. මෙයට අවුරුදු 30 කට කලින් කොළඹ නගරයට ආව බස් 32000ක්. අද එන්නේ 29000යි. එදා කොළඹට ආවේ පොදු වාහන ඒ විදිහට. එදා පෞද්ගලික වාහන ආවේ ලක්‍ෂයයි. අද එනවා පන් ලක්‍ෂයක්. අපි කොළඹ විතරයි මේ ප‍්‍රශ්නේ කිව්වට අද කොහේ ගියත් කොයි නගරේ ගියත් මේ ප‍්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. අද උපදින දරුවන්ට පාසල් නැහැ. මොකද අපේ දැන උගත්කම් වලට සරිලන පාසල් ගොඩනැගිලා නැහැ. මේ රටේ හොඳ රෝහල් පද්ධතියක් තියෙනවා. සෑම කිලෝ මීටර් 10 ක් ඇතුළතම ඩිස්පෙන්සරි තියෙනවා. ලෝකේ තියෙන ලොකුම රජයේ රෝහල තියෙන්නේ කොළඹ තියෙන මහ රෝහල. ඇඳන් හත්දාහක් තියෙනවා. හැබැයි අපේ ජනතාවට සෞඛ්‍ය ගැටළුවක් ආවහම විශාල ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙනවා අද මේ රට ඇතුළේ.  මේ වගේ ප‍්‍රශ්න ගණනාවක් අපට තියෙනවා. 
     
    ගම් බද ප‍්‍රදේශයේ ගොයම් ටික කපා ගන්න, රබර් ටික කපා ගන්න ජනතාව නැහැ. හැබැයි සෞදි ආරබියට ගිහිල්ලා ගල්ගහලා මාරාදාන ජනතාවක් අපේ රට තුළ ඉන්නවා. මේ ගැටළුවලට අපි විසඳුම් හොයන්න  ඕනේ. මේවා සම්බන්ධයෙන් ජනතාවගේ හදවත්වත් තූළ හැඟීම් අවුස්සලා ඡන්දය ඉල්ලගෙන පාර්ලිමේන්තුවට යන්න වරප‍්‍රසාද ගත්තට වැඩක් නැහැ. මේ ප‍්‍රශ්න විසඳන මගකට අපේ රට පිවිසිය යුතුයි. එනිසා ජාතික හෙළ උරුමයේ අපි මේ රට හදන මගට පිවිසෙන්න  ඕනේ කියලා කල්පනා කරලා තියෙනවා. සටන් පාඨවලින් තොරව මේ රට හදන්න පුළුවන් ප‍්‍රායෝගික මගක් අපි නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. 
     
    අපි නොයෙක් අත්හදා බැලීම් කරපු රටක්, සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුව තියෙන කොට  අපේ රටේත් ඒ වගේ අත්හදා බැලීම් කරන්න පුළුවන් කියලා. 1956 ඉඳන් 1976 වෙනකන් අපි උත්සාහ කලා ඒ වැඩපිළිවෙල ගෙනියන්න. රාජ්‍ය අංශය මගින් ආර්ථික පාලනය කරන්න. හැබැයි මේ රටේ ජනතාවට පාලනයක් තිබුණ රාජ්‍ය පාලනයක් ලැබුනේ නැහැ. ඒ ප‍්‍රශ්නය අද ලෝකේ හැමතැනම තියෙනවා. ඒක සෝවියට් දේශයෙත් ඇතිවුණා 1989. අද වෙනිසියුලාවෙත් ඇතිවෙලා තියෙනවා. මේ රාජ්‍ය මගින් ආර්ථිකය පාලනය කරන්න ගියාම විශාල ගැටළු ඇතිවෙන බව පැහැදිලියි. වෙනිසියුලාවේ හියුගේ චාවෙස්ගේ පාලනයට අවුරුදු 22 ක් ගිහිල්ලා අද මැතිවරණයකට මුහුණ දෙනවා, මිනිස්සු අහන්නේ කෝ බෙහෙත්, කෝ පැන්සල්, කෝ දත් බෙහෙත් කියලා එරට නායකයින්ගෙන් අහන්නේ. 1976 අපේ රටත් ඒ තත්වයට මුහුණ දුන්නා. සාමාජවාදය, කොමියුනිස්ට් ක‍්‍රමයට ප‍්‍රශ්න විසඳන්න අපට පුළුවන් කමක් නැහැ. අපි ඒවා අත්හදා බලලා පරාජය වෙච්ච මං මොනවද කියලා අපි දැන ගන්න  ඕනේ. ඒ නිසා අලූත් මගක් අපි සොයා ගන්න  ඕනේ. 
     
    ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇවිත් ආර්ථිකය විවෘත කළා. නොයෙක් විවේචන තිබුණා. නමුත් චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තයා නොයෙක් අඩු වැඩි වශයෙන් ඒක තමයි ඉදිරියට ගෙන ගියේ. එහි හොඳ නරක දෙකම තිබුණා. දැන් සමහරු කියනවා අපි ආයෙත් 77 තැනින් පටන් ගන්න  ඕනේ කියලා. සමහරු හිතනවා 94 තැනින් පටන් ගන්න  ඕනේ කියලා. සමහරු හිතනවා 2005 තැනින් පටන් ගන්න  ඕනේ කියලා. ඒවා සේරම අතීතයට අයිති දේවල්. අපට නව ජන වරමක් පසුගියදා ලැබුණා ජනවාරි 08 වෙනිදා. එයට අනුව මේ රටේ නව උත්පාදන ආර්ථික ක‍්‍රමයක් ඇතිකර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. රටේ පරිසරය ආරක්‍ෂා කරමින්, රට තුළ නව නිෂ්පාදන ඇති කරමින්, සමාජයේ දුප්පත් කම නැති කරමින් සමාජ අසමානතා අයින් කරමින් පුද්ගලයින්ගේ සමෘද්ධිය මුල් කරගත්ත නව ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.
     
    එදා බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සන්තුට්ඨී පරමංධනං කියලා. පරම ධනය සතුට කියලා. පරම ධනය සතුට බවට පත්වෙච්ච නව ආර්ථික ක‍්‍රමයක් ගොඩනගා ගැනීමයි නව උත්පාදන ආර්ථිකයක ප‍්‍රධාන අරමුණ වන්නේ. ඒ නිසා තමයි ජාතික හෙළ උරුමය එදා 2014 ඔක්තෝම්බරයේදී පවත්වපු පක්ෂ සමුළුවේදී නව උත්පාදන ආර්ථිකයක් තමයි රටේ අනාගතය කියලා කිව්වේ. එදා ඒක වැඩි දෙනෙක් කල්පනා කළේ නැහැ. අද මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත්  එදා අපි ඉදිරිපත් කරපු නව උත්පාදන ආර්ථික ක‍්‍රමය පිළි අරගෙන තියෙනවා. ඒකයි අපි කියන්නේ මේක සටන් පාඨ ව්‍යාපාරයක් නෙමෙයි, උද්ඝෝෂණ ව්‍යාපාරයක් නෙමෙයි, හැබැයි ප‍්‍රශ්නයක් ඇති උනොත් අභියෝගයක් ආවොත් සටන් පාඨ විතරක් නෙමෙයි උද්ඝෝෂණ කරන්නත් අපි මැලිවෙන්නේ නැහැ. මේ ඉදිරි වසර 05 තුළ මේ නව උත්පාදන ආර්ථික ක‍්‍රමය ශක්තිමත්ව තබාගෙනයාමට අපි සියළු දෙනාම ඇප කැප වෙන්න  ඕනේ මිත‍්‍රවරුනි. අපේ රට සටන් පාඨ නිසා විශාල වශයෙන් විනාශ වෙච්ච රටක් ඒක අපි අමතක කරන්න හොඳ නැහැ.  
     
    1921 කොළඹ නගරය අවට ප‍්‍රදේශය සැලසුම් කරන්න බි‍්‍රතාන්‍ය ජාතික පැට්රික් ගෙට්ස් පැමිණියා. එදා කොළඹ වරාය තමයි ලෝකයේ 05 වෙනි තැන තිබුණේ. එදා සිංගප්පූරු, ඩුබායි වරායවල් තිබුණේ නැහැ. ක්වාලාලාම්පූර්, බැංකොක් නගර එදා තිබුණේ නැහැ. එකම නගරය එකම වරාය, එකම වාණිජ මධ්‍යස්ථානය වුනේ ආසියාවේ ශ‍්‍රී ලංකාවේ කොළඹයි. අද 34 වෙනි තැනට වැටිලා තියෙනවා. ඒ වරාය නගරයේ කොළඹ නගරයේ දුක් ගැනවිල්ල තියෙනවා. මොනව නිසා ද සටන් පාඨ දේශපාලනය නිසා, සටන් පාඨවලින් වැඩකරපු නිසා. මියගිය ලී ක්වාන් යූ කිව්වා සිංගප්පූරුවක් ගොඩනැගුනේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට පිංසිද්ධ වෙන්න කියලා. බණ්ඩාරනායක මහත්තයා ඇවිල්ලා වරායේ බැස්ස ගමන්ම දවසට එක ගානේ වැඩ වර්ජන කලා. අදත් ඒවායේ ගිනි පුපුරු අපට පේනවා තැන්තැන්වල. වැඩවර්ජන උද්ඝෝෂණ. මොකද ලංකාවේ වරායට නැව් එන එක නැවතුනා, වැඩවර්ජන නැති සිංගප්පූරුවේ වරායට ඒ නැව් ගියා, ඩුබායි ගුවන්තොටුපලට ඒ ගුවන් යානා ගියා. එනිසා අපි කල්පනා කරන්න  ඕනේ මේ උද්ඝෝෂණ කරුවෝ කරන්නේ රටේ ඉදිරිගමන ආපස්සට හරවන්නයි තනන්නේ කියන එක. රට ඉදිරියට ගෙනිහිල්ලා, ශක්තිමත් වාණිජ නගරයක්, ආර්ථික කේන්ද්‍රයක් බවට පත් කරන්නට කොළඹ පමනක් නෙමෙයි, මුළු බස්නාහිර පළාතමත් මුළු රටම ගෙනයාමේ වගකීමත් දැන් අපට ලැබිලා තියෙනවා අපි එය ඉටුකරන්න කැපවිය යුතුයි යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
     
     
    මෙම අවස්ථාවට රන්පත්විල විමලරතන නායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පලාත් සභා අමාත්‍ය නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිරෝෂා අතුකෝරල ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ. 
    AP 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya