ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය සමාජ ව්‍යසනයක් ලෙස හදුන්වන්න පුළුවන්. මේ වන විට මයික්‍රොන 20 ට අඩු පොලිතීන් භාවිතය තහනම් කර ඇතත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීති රීති වලින් පමණක් මෙය වලක්වාලීම සාර්ථක පියවරක් නොවේ. ඒ සදහා ජනතාව දැනුවත් කල යුතුයි. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ජනවාරි 1 දා සිට මයික්‍රොන 20 ට අඩු පොලිතීන් භාවිතය තහනම් කිරීමට පියවර ගන්නා බවද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
එමෙන්ම මෙම කර්මාන්තයේ ලියාපදිංචිවී සිටින කර්මාන්ත කරුවන්ගේ සංඛ්‍යාව 136 කි.නමුත් අවිධිමත් ලෙස මෙම කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගණන දහසකට අධිකයි. මොවුන් හදුනා ගැනීමට නොහැකිවීම නිසා පාලනය කිරීම අසීරු වී තිබෙනවා. එම නිසා ඉදිරියේදී සියළුම කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා තවදුරටත් පැවසීය.
පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් අදහස් දැක්වු මධ්‍යම පරිසර අධිකාරියෙහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා , මෙම ගැටළුවට විකල්පයක් වශයෙන් දිරාපත් වන පොලිතීන් භාවිතයට ගැනීමට සමාජය හුරුකරවිය යුතුයි.එමෙන්ම ලබන වසරේ සිට සැරසිලි සදහා පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු වෛද්‍ය රුවන් විජයමුණි මහතා, කෙනෙක් මිය ගිය විට පොලිතින් වලින් ආවරණය කිරීම නිසා දිරායාම ප්‍රමාද වේ.එම නිසා ගැටළු රැසක් මතුවී තිබෙන හෙයින් ඒ සදහා දිරායන පොලිතීන් භාවිතා කිරීම අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.එසේම කෑම ඔතන පොලිතින් හා පෙටිටි, යෝගට් කෝප්ප වැනිදැ මගින් පිළිකා කාරක ද්‍රව්‍ය ශරීරයට ඇතුලුවිය හැකි බවත් මෙම ද්‍රව්‍ය පරිසරයට එක්වීම ඩෙංගු රෝගය වර්ධනය වීමට හේතුවක් වී ඇති බවත් පැවසීය.
දිනකට ලක්ෂ 200 ක් පමණ පොලිතීන් බෑග් පාවිච්චි කරන අතර මෙම කර්මාන්තයේ නියැලී සිටින්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වේ.එහෙයින් මෙම පොලිතින් පාවිච්චිය සහමුලින්ම නතර කිරීම කළ නොහැකි හෙයින් ඒවා භාවිතා කිරීම හැකිතාක් දුරට අවම කිරීමටත් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ප්‍රමිතියෙන් ඉහළ පොලිතින් පමණක් නිෂ්පාදනය කිරීමටත් විකල්පයන් කෙරේ අවධානය යොමු කිරීමත් පිළිබදව අවධානය යොමු කරන ලදී.
AP