පසුගියදා (නොවැ. 26) මොල්ටා හීදී පැවති විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
කෙසේ වුවද ත්‍රස්තවාදය මැඩලීමේදී ප්‍රචණ්ඩත්වය මුදවා හරින්නන් හා ඔවුන් විසින් නියෝජනය කරනවායැයි උදම් අනන ජන සමූහයන් අතර ඇති වෙනස්කම් පැහැදිලිව හදුනා ගැනීම වැදගත් වන බව ද ඒ මහතා සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකාවේ ජීවත් වන අපගේ අත්දැකීම් අනුව බහුතර දෙමළ ජනතාවගේ බලාපොරොත්තු හා අභිලාෂයන් නියෝජනය කරනවා යයි පවසමින් දශක ගණනාවක් ප්‍රචණ්ඩත්වය මුදාහල එල්.ටී.ටී.ඊ සංවිධානය එවැනි අරමුණු නියෝජනය නොකරන ලදී. තවද සාමකාමී වටින ආගමක් වන ඉස්ලාමය නියෝජනය කරන බහුතර ජනතාවක් කෲර හා සාහසික ත්‍රස්තවාදී කටයුතු වල යෙදෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් නියෝජනය නොකරන බව එලෙසම පෙනී යයි.
එබැවින් ත්‍රස්ත විරෝධී සියලුම වැඩසටහන් දියත් කල යුත්තේ ත්‍රස්තවාදීන් විසින් තමන් නියෝජනය කරනවායැයි උදම් අනන මහා ජනතාවගේ හදවත් හා සිතුවිලි දිනා ගන්න ආකාරයේ සක්‍රීය සැලැස්මක් සහිතවය.
එවැනි පසුබිමක් තුල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජනගහනයෙන් 60% ක් පමණ වන තරුණ ජනයාට ස්ථාවර ආරක්‍ෂිත හා සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. ඒ සදහා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් තුලින් තරුණ ජනතාව තුලින් බිහිවන ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය වළකාගැනීමත්, ඔවුන් රැඩිකල්කරණයට ගොදුරුවීම අවම කිරීමත් පිළිබද දැනුවත්භාවය ඉහළ දැමීමටත් හැකියාව ලැබෙනු ඇත. “ යැයි ද පැවසීය.