සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන” මඩකලපුවෙන් ගමන් අරඹයි

    නොවැම්බර් 27, 2015

    ‘දෙනෙතට එළියක් - දයාබරත්වයේ පාගමන‘ යන තේමාව යටතේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ පාගමන ඊයේ (26) මඩකලපුව ගාන්ධි උද්‍යානය අසළින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගමන් ඇරඹීය.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පැවැත්වෙන මෙම පාගමන මඩකළපුවේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමිතය. කිලෝමීටර් 330ක දුරකින් යුත් පාගමන දින 17 ක් ගෙවා දෙසැම්බර් මස 12 දින ගාලුමුවදොර පිටියට පැමිණීමෙන් නිමාවට පත්වෙයි.

     

    ඊයේ දින ආරම්භ වූ මෙම පාගමනේ සමාරම්භක අවස්ථාව සඳහා සියළු ජාතීන් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    ඇසේ සුද නිසා ඇති වී තිබෙන වළක්වාගත හැකි අන්ධභාවයෙන් පෙළෙන ශ‍්‍රී ලාංකිකයින්ට පිහිට වීම සඳහා ආරම්භ කළ ‘විෂන් 2020‘ වැඩසටහන සඳහා අත්‍යාවශ්‍යව පවතින ජංගම අක්ෂි සායන රථයක් ලබාගැනීමට මුදල් රැස් කිරීම මෙම පාගමනේ ප‍්‍රධාන අරමුණ වේ. ඒ සඳහා අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 450 කි.

     

    මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම පාගමන මන්මුනෙයි, පුළුකුනාව, මහඔය, දඹාන, හසලක, උඩදුම්බර, කුණ්ඩසාලේ හරහා මහනුවරට ලඟාවීමට නියමිතය.

     

    ඉන් පසු මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී අරමුදල් රැස් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 4 දින පැවැත්වෙයි. ඉන්පසු ගමන් ආරම්භ කරන පාගමන පේරාදෙනිය, පිළිමතලාව, හිරිවඩුන්න, අලවිව, ගම්පහ, රාගම හරහා කොළඹ ගාලුමුවදොර පිටියට ලඟාවීමට නියමිතය.

     

    පාගමනේ අවසන් දින උත්සවය දෙසැම්බර් 12වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

     

    පාගමන පැවැත්වෙන කාලය තුළ තෝරාගත් ස්ථාන කිහිපයක දී ජංගම අක්ෂි සායන ද පැවැත්වෙයි. මෙම පාගමනේ අන්ධභාවට පත් දරුවන් ද ගමන් කිරීම විශේෂත්වයකි.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ‘විෂන් 2020‘ කාර්යාලයේ දත්තවලට අනුව පසුගිය වසර 05 ක කාලය තුළ පමණක් ලක්ෂ 10ක පමණ පිරිසක් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකර ගැනීමට නොහැකිව පොරොත්තු ලේඛණයේ සිටිති. ඉදිරි වසර කිහිපය තුළ මෙම සැත්කම් අවසන් කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. රජයේ රෝහලක දී සැත්කමක් සිදු කිරීම සඳහා වැය වන්නේ රුපියල් 5500ක් පමණයි.

     

    ඔබ විසින්ම සාදාගත් කැටයකට මුදල් එකතු කර පාගමනේ සංවිධායකයින්ට ලබාදී මෙම සත් කාර්යයට දායකවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘විෂන් 2020‘ කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya