අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එච්.එන්.ඩී.ඒ. සිසුන්ට පොලිසිය විසින් පහරදීම තරයේ හෙළා දකිමි - විදේශ ඇමති

    නොවැම්බර් 02, 2015

    උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම තමා තරයේ හෙළා දකින බව  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    එච්.එන්.ඞී.ඒ. සිසුන්ට පොලිසිය විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

     

    එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

     

    “උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ඊයේ දිනයේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම මා තරයේ හෙළා දකිමි.

     

    ශිෂ්ඨසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. කෙසේ වෙතත් එම උද්ඝෝෂකයින් එම අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්වයට හා කළහකාරී ලෙස හැසිරීමට යොමු වුවත් ඒවා මැඩ පැවැත්වීමේ පිළිගත් ක‍්‍රමවේදයන් තිබේ.

     

    නමුත් පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල ඇති ඡායාරූපවලට අනුව පොලිසිය විසින් මෙම උද්ඝෝෂණය පාලනය කිරීමට හා ඔවුන්ව විසුරුවා හැරීමට කි‍්‍රයා කර ඇත්තේ ඉතාමත් සාහසික අන්දමින් බව මනාව පැහැදිලි වේ.

     

    මෙවැනි සාහසික කි‍්‍රයාමාර්ග කිසිසේත්ම මෛතී‍්‍රපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ යුගයට නොගැලපෙන බව අප පුන පුනා කිව යුතු නොවේ.

     

    අප වසර ගණනාවක් තිස්සේ විපක්‍ෂයේ සිටියදී අපගේ සාමකාමී උද්ඝෝෂණවලට පහර දුන් ආකාරය අපට අමතක වී නැත. එමෙන්ම කටුනායකදී, රතුපස්වලදී සහ වෙනත් ශිෂ්‍ය උද්ඝෝෂණවලදී පසුගිය රජය විසින් කි‍්‍රයා කළ අමානුෂික ආකාරය ද අපට අමතක වී නැත.

     

    2015 ජනවාරි 08 වනදා මේ රටේ දැවැන්ත සාමකාමී විප්ලවයක් ඇති කරන ලද්දේ ද පසුගිය යුගයේ ද එවැනි සිද්ධීන්ට නායකත්වය දුන් අමානුෂික පාලකයන් පලවා හැරීම වෙනුවෙනි. එමෙන්ම, එම විප්ලවය ඇති කරනු ලැබුවේ මෙරට සැබෑ ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ඨසම්පන්න නව දේශපාලන සංස්කෘතිකයක් ඇති කිරීම වෙනුවෙනි.

     

    කෙසේ වෙතත්, වර්තමාන රජය පසුගිය රජය හා සමාන බවට පෙන්වීමටත්, රාජපක්‍ෂ රෙජිමය සහ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය අතර කිසිම වෙනසක් නොමැති බවට පෙන්වමින් පසුගිය මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට උත්සාහ කරන කුමන්ත‍්‍රණකරුවන් අප අතර සිටින බවත් රහසක් නොවේ. ඒ නිසාම මෙවැනි ප‍්‍රහාරයන් එල්ල කරන ලද්දේ එවැනි කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය හදිසි කරුණකි.

     

    මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍ෂණික වාර්තාවක් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අප සතුටු වෙමු.

     

    කෙසේ වෙතත්, එවැනි වාර්තාවක් ලබාදෙන තුරු සිද්ධියට සම්බන්ධ ඡායාරූපවල සිටින පොලිස් නිලධාරීන් කවුදැයි හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව වහාම විනය කි‍්‍රයාමාර්ගයන් ආරම්භ කිරීම ද පොලිසිපතිවරයාගේ යුතුකමකි.

     

    මේ රටේ බහුතරයක් පුරවැසියන්ගේ පමණක් නොව, ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ද ප‍්‍රශංසාවට සහ පැසසුමට ලක්ව සිටින අපගේ පාලනයේ කීර්ති නාමය රැක ගත හැක්කේ නීති විරෝධී ලෙස කටයුතු කරන පොලිස් නිලධාරීන් හට ක්‍ෂණික කි‍්‍රයාමාර්ග කි‍්‍රයාත්මක කිරීමෙන් අපේ රට අද සැබෑ ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට ලොවටම යළි වතාවක් පෙන්වා දීමෙනි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya