"මුඛ පිළිකාවෙන් තොර සමාජයක් කරා" යන්න තේමා කර ගනිමින් පසුගියදා මහනුවරදී සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව පැවැත්විණි. මේ සඳහා දායකත්වය දරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පර්යේෂණ ඒකකය,
ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානයයි. මේ සමුළුව සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ලොව සුපතල විද්වතුන් හා ජාත්‍යන්තර සංවිධාන රාශියක එකමුතුවෙන් ක්‍රියාත්මක විණි. සියලු පාර්ශවකරුවන්ගෙන් සමන්විත ව්‍යූහයක් තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, රෝග කළමනාකරණය මත පදනම් වූ සපන දුම්කොළ හා පුවක් පිළිබඳ පාලන ආකෘතියක් ස්ථාපිත කිරීම මේ සමුළුව පැවැත්වීමේ එක් අරමුණකි.
මේ සමුළුව සඳහා ඉන්දියාව, පකිස්තානය, ජපානය, කොරියාව, එක්සත් රාජධානිය, කුවේටය වැනි රටවලින්ද සහභාගී විය.
ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් වාර්ෂිකව 1800 දෙනෙකු පමණ වාර්තා වේ. මුඛ පිළිකා නිසා වාර්ෂිකව මරණ 968ක් පමණ වාර්තා වන අතර දිනකට මරණ 03ක් සිදු වේ. මුඛ පිළිකාව මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව වේ. මේ රෝගයෙන් රෝගීන් 50%ක් පමණ මියයති. නමුත් මේ රෝගය 100%ක්ම වළක්වා ගත හැකි බවත් බුලත්විට සැපීමේදී දුම්කොළ, හුණු හා පුවක් භාවිතයට නොගැනීමෙන් වළක්වා ගත හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මුඛ පිළිකාව සම්බන්ධ ප්‍රඥප්තියක් පළමු වතාවට හඳුන්වා දෙන්නට ද පසුගියදා පැවති සපන දුම්කොළ, පුවක් හා මුඛ පිළිකා සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවේදී පියවර ගෙන ඇත. මේ ප්‍රඥප්තියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ පුවක් භාවිතය හා මුඛ පිළිකා ප්‍රවණතාව අඩුකිරීම අරමුණු කර ගත් මූලධර්මාත්මක ප්‍රමුඛතා හඳුනාගැනීම සහ ක්‍රියාමාර්ග සඳහා නිසි මාර්ගයක් සකස් කර ගැනීමයි.
මේ ප්‍රඥප්තියෙහි සපන දුම්කොළ හා පුවක්වලට එරෙහි උපදේශනය සෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුගේම දින චර්යාවේ කොටසක් විය යුතුය, හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍ය වෘත්තිකයන් මුඛ කුහරයේ දෘශ්‍ය පරීක්ෂණයක් සිදු කළ යුතුය, සෞඛ්‍ය වෘත්තිකයන් අනිවාර්යෙන්ම තම රෝගීන් අතර මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කළ යුතුය සහ සියලු සෞඛ්‍ය ආයතන (සායන, රෝහල්, වෛද්‍ය විද්‍යාල, දන්ත වෛද්‍ය විද්‍යාල, හෙද විද්‍යාල, අතුරු වෛද්‍ය විද්‍යාල) සපන දුම්කොළ හා වාණිජමය වශයෙන් තිබෙන පුවක් නිෂ්පාදනවලින් තොර ප්‍රදේශ වශයෙන් ප්‍රකාශ කළ යුතුය යන්න ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව සපන දුම්කොළ, පුවක් සහ මුඛ පිළිකා සම්බන්ධව නොකඩවා කර ගෙන යන වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්විය යුතුය, ශ්‍රී ලංකා රජයේ සියලුම උපාධි අපේක්ෂක විෂය නිර්දේශවලට දුම් රහිත දුම්කොළ/ පුවක් භාවිතය නතර කර ගැනීමේ කුසලතා ඇතුළත් වීම, සපන දුම්කොළ හා පුවක් ඇතුළු සියලු වර්ගවලින් සිදු වන සෞඛ්‍ය උවදුර පිළිබඳ ව ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කළ යුතුය, අසල්වැසි රටවලින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන නීති විරෝධී සපන දුම්කොළ හා පුවක් අනුප්‍රේෂිතයන් සම්බන්ධව පරීක්ෂාකාරීව සිටීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කිරීම එම ප්‍රඥප්තියේ ඇතුළත් තවත් කරුණු ගණනාවකි.
එසේම පුවක් උවදුරු කාරක ද්‍රව්‍යයක් ලෙස නම් කර දුම්කොළ නිෂ්පාදන සඳහා මෙන්ම පුවක් නිෂ්පාදන සඳහා ද පින්තූරමය සෞඛ්‍ය අවවාද ඇතුළත් විය යුතු වීමත් එහි සඳහන් වේ. සම්පූර්ණ පුවක් පාලන ජාතික වැඩසටහනක් ස්ථාපිත කළ යුතු වීම, වරින් වර සපන දුම්කොළ හා පුවක් නිෂ්පාදන සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුය, දපන දුම්කොළ හා අසුරන ලද පුවක් නිෂ්පාදන පිටරටින් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හා විකිණීම තහනම් කළ යුතුවීම හා සපන දුම්කොළ හා පුවක් නිෂ්පාදන සඳහා බදු වැඩ කළ යුතු වීම යනාදී කරුණු මුණ පිළිකා ප්‍රඥප්තියේ ඇතුළත් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සියලුම පිළිකා අභිබවා යමින් ශ‍්‍රී ලංකාවේ මුඛ පිළිකා ව්‍යාප්තිය වසරින් වසර ඉහළ යමින් පවතී. 2007 වසරේ ජාතික පිළිකා දත්තවලට අනුව නව මුඛ පිළිකා රෝගීන් 1813ක් වාර්තා වී ඇති අතර එය සමස්ත පිළිකා අතරින් 13.3% ප‍්‍රතිශතයකි. මුඛ පිළිකා නිසා සිදුවන දළ මරණ අනුපාතය ද ඉතා ඉහළ අගයක් ගනී. ඒ අනුව දිනකට මේ රෝගය නිසා පුද්ගලයන් 03 දෙනෙකු පමණ මියයන බව ගණනය කොට ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල වසංගතයක් වැනි මෙම රෝගය හට ගැනීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම රටවල ගතානුගතික පුරුද්දක් ලෙස සැපීමට භාවිත කරන බුලත්විටෙහි අඩංගු දුම්කොළ සහ පුවක් වේ. මේ අනුව මුඛ පිළිකාව වැළැක්වීමට නම් අප පළමුවෙන් ම මුඛ පිළිකාව, දුම්කොළ සහ පුවක් පිළිබඳ නවීනතම දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. දෙවනුව අප රටෙහි නීතී සම්බන්ධව ක‍්‍රියාකරන නිලධාරීන් සහ බලධාරින් මෙන්ම ජනතාව ද දැනුවත් කළ යුතුය.
මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ මුඛ පිළිකාව වළක්වා ගත හැකිවීමයි. ඒ සඳහා මූලික පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයෙන් සහ කොරියානු යොන්සෙයි විශ්වවිද්‍යාලයේ මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සහභාගීත්වයෙන් පේරාදෙණිය මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය, දන්ත වෛද්‍ය පීඨය හා ජාතික පිළිකා මර්දන වැඩසටහන එක්ව මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
මේ පිළිබඳ ව අදහස් දක්වන ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නීලමණී පරණගම මහත්මිය පවසන්නේ මුඛ පිළිකාව වැළැක්වීමට නම් ඒ සඳහා හේතුවන සාධකවලින් ජනතාව ඈත් කිරීම අවශ්‍ය බවයි. පෙර කාලයේ මුඛ පිළිකාව වයස අවුරුදු 45ට පසු වයස් සීමාවේ පසුවන පිරිස අතර පැවතුණත් අද වයස අවුරුදු 20ට අඩු දරුවන් අතර මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණ දැකිය හැකියි. මෙම පූර්ව පිළිකා ලක්ෂණ හඳුනාගැනීමෙන් රෝගය වළක්වා ගත හැකි බව ද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
මුඛ පිළිකාව ඇති වීම වළක්වාලීමට, ජනතාව දැනුවත් කිරීම සඳහා පූජ්‍ය පක්ෂය සහභාගි කර ගැනීමෙන් සමාජයට එම පණිවිඩය ගෙනයාමට හැකි නිසා පසුගියදා පැවති අන්තර්ජාතික සමුළුව සඳහා සර්ව ආගමික පූජකවරුන් සහභාගි කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. මුඛ පිළිකා ව්‍යවසනය අඩු කිරීමට නම් මේ පිළිබඳ ව සමාජය තුළ කථිකාවක් ඇති කළ යුතුයි. දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවගේ ප්‍රශ්නයක් බවට මුළ පිළිකාව පත්ව ඇති අතර මෙය මෙරට සමාජයේ ඉහළ ස්ථරවල ඇති වී තිබෙන ගැටලුවක් නොවේ.
අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ඒකකය පුවක් පිළිබඳ පර්යේෂණය කර පුවක් යනු දරුණු පිළිකා කරකයක් බව තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ බුලත්විට සඳහා පුවක්, දුම්කොළ, හුණු හා බුලත් යොදා ගනී. නමුත් තායිවානයේ බුලත්විට සඳහා යොදා ගන්නේ පුවක්, හුණු හා බුලත් පමණි. එහෙත් තායිවානයේ ද මෙරටට සමානව ම මුඛ පිළිකා රෝගීන් සිටී. මේ වන විට ඉන්දියාවේ පුවක්වලින් හදන නිෂ්පාදන සියල්ල තහනම් කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වන එක්සත් රාජධානියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ මුඛ පිළිකා හා පෙර පිළිකා ආයතනයේ මහාචාර්ය සමන් වර්ණකුලසූරිය මහතා පවසන්නේ මුළු ලොව ම කරන පර්යේෂණවලින් පුවක් හා දුම්කොළ පිළිකා සඳහා හේතු වන බව සොයා ගෙන ඇතැයි පැවසීය. ලොව වැඩිම මුඛ පිළිකා රෝගීන් සහිත රටවල් අතර අංක 01 බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මීට අමතරව ආසියානු හා අප්‍රිකාවේ බොහෝ රටවල මුඛ පිළිකාව පවතී. මුඛ පිළිකාව කලින් හඳුනාගත හැකි අතර මුළුමනින්ම වළක්වා ගත හැකිය. නමුත් මුඛ පිළිකා රෝගීන් රෝහල්ගත වන්නේ පිළිකාව පැතිරී සුවකළ නොහැකි අවධියකදීය.
පූර්ව මුඛ පිළිකාවේ එක් ලක්ෂණ වන්නේ මුඛය තුළ ඉස්මතු වී පෙනෙන, වේදනාවක් නොමැති සහ පහසුවෙන් ඉවත් කළ නොහැකි සුදු ලප පැවතීමයි. මුඛය තුළ සුදු හෝ රතු ගැටිති සහිත ලප, මුඛය තුළ රතු පැහැති මතුපිටක් ඇති ප්‍රදේශ පැවතීම, අසාමාන්‍ය දැවිල්ලක් සමඟ ඇති වන තොල් සහ මුඛ ශ්ලේෂමලයේ සුදු වීමක් හෝ රතු වීමක් පැවතීම හා දිව නැමීමේ සහ මුඛය විවෘත කිරීමේ අපහසුකම (මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව) යනාදිය තවත් පූර්ව මුඛ පිළිකා ලක්ෂණ බව ද මහාචාර්යවරයා පැවසීය.
පූර්ව පිළිකා ලක්ෂණවල සඳහන් ලප, පැල්ලම් හෝ ගැටිති කෙටි කාලයක් තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි නම් එම ලප තුවාල බවට පත්වේ නම් සහ එම තුවාලවල යට දාරය අක්‍රමවත්ව උඩට නෙරීම පටන් ගනී නම් ඒවා පිළිකා ලක්ෂණ විය හැකියි. තවද තුවාලවලින් ලේ වහනය හෝ දැවිල්ලක් ඇත්නම්, ලප සහිත ප්‍රදේශවල හිරිගතියක් හෝ දැවිල්ලක් ඇති වේ නම් එම තුවාලය අභ්‍යන්තර පටක දක්වා පැතිරී ඝනවූ තත්ත්වයක් පවතී නම් හෝ අදාළ ප්‍රදේශයේ හෝ ශරීරයේ වසා ගැටිති ඉදිමීමක් වේ නම් ඒවා පිළිකා ලක්ෂණ විය හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මුඛය තුළ සුවය නොවන තුවාලයක් ලෙස ද මුඛ පිළිකාව පැවතිය හැකියි. මුඛයේ තුවාලයක් ඇති වූ විට එය සාමාන්‍ය යෙන් සති 2ක් හෝ 3ක් ගතවීමට පෙර ඉබේම සුව වේ. එම තුවාලය දිගු කාලයක් මුඛයේ පවතී නම් පිළිකාමය තත්ත්වයකට පත්විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මුඛයේ වර්ධනයක් පැවතීම, පිළිකා ඇති ප්‍රදේශයේ දත් සෙලවීම, මුඛයේ දුර්ගන්ධය, තොල් හිරිවැටීම, හක්කේ විවර ඇතිවීම, ශරීරයේ බර අඩුවීම, දුර්වලකම් හා ආහාර සැපීමේ අපහසුතා ඇතිවීම යනාදිය පිළිකාවේ මූලික ලක්ෂණ වේ.
මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ශල්‍යකර්ම, විකිරණ හා ඖෂධ ප්‍රතිකාර ලබා දෙනු ඇත. මුඛ පිළිකාව කලින් හඳුනාගත හොත් ශල්‍ය කර්මයකින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. විකිරණ හා ඖෂධ ප්‍රතිකාර මඟින් වර්ධනය වන පිළිකා සෛල විනාශ කිරීමට ද හැකියාවක් පවතී. සාමාන්‍ය යෙන් එක් රෝගියෙකු සඳහා ශල්‍යකර්ම විකිරණශීලී ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර සඳහා අවම වශයෙන් රජය රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
නිරංජලා දිල්රුක්ෂි
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ තොරතුරු ඇසුරිනි