1992 දී බ්‍රසීලයේ රියෝ ඩී ජැනයිරෝ නුවර පැවති මිහිකත සමුළුවේදී කැනඩාව විසින් ප්‍රථමවරට යෝජනා කරන ලදුව, 2008 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිළ වශයෙන් ජූනි මස 08 වන දින ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශ කරන ලදී. එතැන් පටන් සෑම වසරකම ජූනි 08 වන දින ලොව පුරා සාගර දිනය සමරනු ලබයි. ලංකාවේ සමුදුර රැක ගැනීමේ වගකිව යුතු ආයතනය වශයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය 2009 වසරේ සිට ලොව අනෙකුත් රටවල් සමඟ එක්ව ජගත් සාගර දිනය සමරනු ලැබේ.
ජගත් සාගර දිනය යනු ලෝකයේ සාගරයන්හි වැදගත්කම ඉස්මතු කරනු වස් සමරනු ලබන්නකි. එහිදී සාගරයෙන් මානව වර්ගයාට සපයනු ලබන මුහුදු ආහාර, සමුද්‍රීය සත්ත්ව ප්‍රජාව සහ එයට අනන්‍ය වූ සුන්දරත්වය අගයනු ලැබේ. ඒ හැරුණු කොට අන්තර්ජාතික වෙළඳාම පහසු කිරීමට මහ සයුරින් දක්වන දායකත්වය ද සලකා බලනු ලැබේ. ගෝලීය වශයෙන් සිදුවන දූෂණයන් සහ පමණ ඉක්මවන මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීම හේතුවෙන් සමුද්‍රීය සත්ත්ව ප්‍රජාව වඳ වී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.වස් සාගර දූෂණය අවම කිරීම සඳහා ම ලෝක සාගර දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම තර්ජනයන් අවම කර ගැනීමට ප්‍රජාව දැනුවත් කිරීම මඟින් සාගරයේ ඉදිරි පැවැත්ම තහවුරු කර ගැනීමයි.
2016 වර්ෂයේදී ජගත් සාගර දිනයේ තේමාව වනුයේ ''පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්" (healthy Oceans Healthy Planet) යන්නයි. ඒ අනුව 2016 ජුනි මස 08 වන දින ලෝක සාගර දිනය සැමරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර එහි ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී අද (08) පැවැත්වුණි.
සයුර අපට වැදගත් වන්නේ ඇයි?
සාගරය ලොව පුරා දේශගුණික තත්ත්වයන් නියාමනය කරන අතර මිහිමත මිලියන ගණනක ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරනවා පමණක් නොව අපට ස්වසනය සඳහා ඔක්සිජන් වායුව නිපදවන ප්‍රධාන ප්‍රභවයයි. විචිත්‍රවත් ජීවීන් රැසකගේ නිවහන වශයෙන් ක්‍රියා කරන මහසයුර මිනිසාගේ සෞඛ්‍යමත් පැවැත්ම උදෙසා අවැසි බොහෝමයක් ඔසු ද සපයනු ලබයි.එපමණක් නොව ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය ජල චක්‍රයේ ප්‍රමුඛතම අංගය ලෙස ක්‍රියාකරන මහා සාගරය මිනිසාට ආර්ථික වශයෙන් වැදගත් ඛණිජ සම්පත් රැසක් ලබා දෙන්නකි.
වර්තමානයේ මහ සයුරට අත්වී ඇති ඉරණම?
පෘථිවියෙන් 70%ක්ම ආවරණය කරන සාගර මිහිමත ඇති විශාලතම ජල තලය වන අතර පෘථිවියේ ඇති සමස්ත ජල ප්‍රතිශතයෙන් 90%ක්ම වන්නේ සාගර ජලයයි. මිනිසාට මේ සා විශාල සේවාවන් රැසක් සිදු කරන මහ සයුර මිනිසාගේම අදූරදර්ශී ක්‍රියාවන් හේතුවෙන් ඉතා දුක්ඛිත ඉරණමක් අත්කරගෙන සිටි. තෙල්, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, කාර්මික සහ කෘෂි කාර්මික අපද්‍රව්‍ය සයුරට එක් වීම මඟින් සාගර පරිසර පද්ධති සහ ඒවායේ වෙසෙන ජීවීන්ට විශාල වශයෙන් හානි සිදු වේ. එමගින් මිනිසාගේ සෞඛ්‍යට හානි පැමිණීම ,ධීවර කටයුතු වැනි සමුදුර ආශ්‍රිත කටයුතු වලට බාධා පැමිණීම, මුහුදු ජලයේ ගුණාත්මකභාවය අඩු වීම සහ සයුරේ අලංකාරවත් බව අඩු විම සිදුවේ.සමස්ත සමුද්‍ර දූෂණයේ 80%කටම වගකිව යුතු වන්නේ ගොඩබිම සිටින අපගේ ක්‍රියාකාරකම් බව ඔබ දැන සිටියාද? ප්ලාස්ටික් බෑගයේ සිට කෘෂි රසායනික ද්‍රව්‍ය දක්වා ගොඩබිම අපජනනය කරන බොහෝමයක් කැලි කසල අවසානයේදි නතර වන්නේ මහා සාගරයේය.වෙරළ කළාපයේ සිටින සමහරක් ජනතාව සිතාමතාම සයුරට කැලි කසල බැහැර කරන අතර රට තුළ කොතැනක සිට හෝ ඔබ පරිසරයට බැහැර කරන කුමන හෝ ද්‍රව්‍යයක් ගංඟා ඇළ දොළ ඔස්සේ පැමිණ අවසානයේ සේන්දු වන්නේ මහ සයුරටයි.ඔබ රට මැද රට වට කොතැනක ජීවත් වුවද ඔබගේ ක්‍රියාකාරකම් මහ සයුරේ පැවැත්ම කෙරෙහි බලපාන බව ඉහත දැක්වූයේ එහෙයිනි.අද වන විට සමුද්‍ර පරිසරයට පවතින ප්‍රධාන තර්ජන ලෙස,
-සමුද්‍ර සහ වෙරළ ආසන්න වාසස්ථාන විනාශ වීම(Habitat destruction)
-ධීවර සම්පත් අධික ලෙස නෙළා ගැනීම(Over exploitation)
-ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගර පරිසර පද්ධති සහ ජීවීන් වෙත ඇති කරන බලපෑම
-ආක්‍රමණකාරී ජීවීන් සාගරය පුරා ව්‍යාප්ත විම නිසා සිදුවන හානිය (Introduction of invasive species) සැලකිය හැක.
සමුද්‍ර දූෂණය සිදුවන මාර්ග ගත් කල්හි අපද්‍රව්‍ය ඍජුව සයුරට බැහැර කිරීම ,ගංඟා ඇළ දොළ මඟින් ,නෞකා මඟින්, වායුගෝලය මඟින් සහ සමුදුරේ සිදුවන කැණීම් මඟින් සිදුවන ක්‍රියාවලීන් ලෙස සැලකිය හැකිය . සමුද්‍ර දූෂණ ද්‍රව්‍ය සහ සාගර දූෂණය සිදුවන අයුරු මඳක් විමසා බලමු.
තෙල්
ඉන්ධන වශයෙන් භාවිතා කරන ඛණිජ තෙල් වෙරළාසන්න ප්‍රෙද්ශ වලදී මෙන්ම මහ සයුරේදීද කැණීම්වලට ලක් කෙරේ. ඒවායින් සිදු වන කාන්දුවීම් මඟින් සහ ඉන්ධන ප්‍රවාහනය කරන නෞකා මෙන්ම සයුරේ යාත්‍රා කරන අනෙකුත් නෞකා අනතුරට ලක්වීමෙන් තෙල් විසිරීම් සිදු වීමට ඉඩකඩ පවතී .මෙවැනි තෙල් විසිරීමකින් සිඳුවන හානිය ඉතා භයානක නමුත් සුලබවම සමුද්‍ර දූෂණයට දායක වන්නේ ගංඟා ඇළ දොළ දිගේ ගලා ගෙන එන ඔබ නිවෙස් වලින් බැහැර කරන පිසුම් තෙල් සහ ග්‍රීස් වැනි ද්‍රව්‍යයන් ය.
කුණු කසළ
ඔබ මුදාලන කසළ ගංඟා ඇළ දොළ මඟින් හෝ සුළඟ මඟින් ගසාගෙන විත් සාගරයේ නතර වේ.වැලි දූවිලි මෙන්ම ඉතා අහිතකර බලපෑම් ඇති කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය ද මෙසේ පැමිණෙන දේ අතර වෙයි.ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය සාගර පරිසර පද්ධතීන්ට හා ජීවීන්ට ඉතා අහිතකර ලෙස බලපෑම් කරමින් වසර ගණනාවක් සයුරේ රැදී පවතී.එමෙන්ම ප්ලාස්ටික් බෑග්, බැලූන් වැනි දේ මුහුදු ජීවීන් විසින් ආහාර යැයි වරදවා වටහා ගන්නා අතර එමගින් ඔවුන්ගේ ජීවිත අනතුරට පත්වේ.
මළ අපවහනය
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රට වල ද සයුරට මළ ද්‍රව්‍ය බැහැර කරයි.මෙමඟින් සුපෝෂිත(Eutrothication)කලාපයන් ඇති කරන අතර මිනිසාට ද ලෙඩ රෝග ඇති කරයි.
කෘෂි සහ විෂ රසායනික ද්‍රව්‍ය
කෘෂි කර්මාන්තය මඟින් සහ අනෙකුත් කාර්මික ක්‍රියාවලීන් මඟින් බැහැර කරන විකිරණශීලී මූල ද්‍රව්‍ය(radioactive waste), බැර ලෝහ(heavy metals), කෘෂි රසායනික ද්‍රව්‍ය පරිසරයේ බොහෝ කාලයක් රැදී පවතින PCBs, DDT, TBT, furans, dioxins, phenols ප්ලවාංග වල සිට තල්මසුන් දක්වා වූ සියලු සමුදුරු ජීවීන්ට මෙන්ම මිනිසාටද විශාල තර්ජනයකි.මේවා සතුන්ට විස සහිත වනවා පමණක් නොව සාගරයේ උෂ්ණත්වය ඉහළ දැමිමටද හේතු වේ.
සමුද්‍ර පතල් කර්මාන්තය (Ocean Mining)
ගැඹුරු මුහුදේ සිඳුවන කැණීම් මඟින් භූගත විෂ රසායනික ද්‍රව්‍ය නිදහස් වී ඒවා මුහුදු ජලය හා මිශ්‍රවන අතර එමඟින් සමුද්‍රයේ යටි ස්ථර වලට හානි වීම සිදුවිය හැකිය. බොහෝ විට රිදී, රත්‍රන්, තඹ, කොබොල්ට් වැනි ලෝහ ලබා ගැනීම සඳහා මෙවැනි කැණීම් සිදු කරයි.
වායුගෝලය මඟින් සහ ශබ්ද මඟින් සිදුවන සමුද්‍ර දූෂණය
සුළඟ මඟින් ගසා එන දූවිලි සහ සුන්බුන් කොටස් සාගරයේ රැදේ.එමෙන්ම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම දේශගුණික විපර්යාස ඇතිකිරීමට සේම සාගරයේ ආම්ලිකතාව වැඩි කිරීමට ද හේතු වේ.එමෙන්ම නැව්වල සයිරන් නළා හඬ මගින් ඇති කරන අධික ශබ්දය සාගර ජීවීන්ට හිතකර නොවේ.
සමුද්‍ර දූෂණයෙන් ජීවීන්ට මෙන් පාරිසරික වශයෙන් අහිතකර ප්‍රතිඵල රැසක් ගෙන දෙයි.
විෂ අපද්‍රව්‍ය මඟින් සමුදුරු ජීවීන්ට වන බලපෑම
තෙල් විසිරීම් ආදීය මඟින් මාලුන්ගේ කරමල් මෙන්ම සමුදුර ආශ්‍රිතව සිටින පක්ෂින්ගේ පිහාටු වල තෙල් තැවරීම මඟින් ඔවුනට සංචරණය අපහසු කරන අතර කුඩා පැටවුන්ට ආහාර සැපයීමද අඩාල කරයි.එමෙන්ම දිගු කාලයක් මේවා පැවතීම මඟින් පිළිකා, ප්‍රජනන පද්ධතියේ වෙනස්කම්, හැසිරීමේ වෙනස්කම් මෙන්ම මරණය පවා සිදුවිය හැක.
කොරල්පර විනාශ වීම
මුහුද මත පාවෙන තෙල් වැනි ද්‍රව්‍ය හේතු කොට ගෙන නිසි පරිදි හිරු එළිය නොලැබීම නිසා ප්‍රභාසංස්ලේෂණය අඩාල වීම, සම සහ ඇස් ආශ්‍රිත රෝග මෙන්ම පෙනහළු ආශ්‍රිත ආසාදන නිසා කොරල්පර හා ඒ ආශ්‍රිත ජීවීන් විනාශ වේ.සමුදුර ආම්ලිකතාවය වැඩිවීම ද කොරල් පර විනාශ වීමට හේතු වේ.
ජලයේ දිය වි ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම
මහ සයුරට ගසා ගෙන එන බොහෝ අපද්‍රව්‍ය දිරාපත් නොවී වසර ගණනක් එහි රැදි පවතී.ඒවා බිඳ වැටීම සඳහා ඔක්සිජන් භාවිත කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ.මේ නිසා තල්මසුන්, කැස්බෑවන් , මෝරුන් , පෙන්ගුයින් වැනි මුහුදු ජීවීන්ගේ ස්වසනයට අවැසි ඔක්සිජන් ප්‍රමාණවත් අයුරින් නොලැබේ.
මුහුදු ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඇණහිටීම
කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය වල ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍ය පවතී.ඒවා ජීවීන්ට ඉතා හානිදායක වේ.මේවා මුහුදු ජීවීන්ගේ මේද පටක ස්ථරවල එකතුවීම මඟින් ප්‍රජනන පද්ධතියට හානි පමුණුවයි.
ආහාර දාම කෙරෙහි බලපෑම් ඇති කරයි
රසායනික අපද්‍රව්‍ය ලෙස සමුදුරට මුදා හරින අපද්‍රව්‍ය ජලයේ දිය නොවී මුහුදු පතුලට කිදා බසී.ඉතා කුඩා ජලජ ජීවීන් මේවා අහාරයට ගන්නා අතර ආහාර දාමය හරහා අනෙකුත් සතුන්ගේ ශරීර වලට ද ගමන් කරයි.මුහුදු ජීවීන්ගේ පටක තුළ එක්රැස්වන ඉතා අහිතකර බැර ලෝහ සහ අනෙකුත් රසායන ද්‍රව්‍ය වැනිදේ ද මෙලෙස ආහාර දාම මඟින් ගමන් කරයි.
මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපායි
මුහුදු ආහාර ලබා ගැනිම මඟින් ශරීරවල අන්තර්ගත බැර ලෝහ සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය ශරීරගතව මිනිසාට පිළිකා, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග වැනි විවධ ආබාධ හටගත හැකිය.
සයුර දූෂණය වුවහොත් ඉන් අහිතකර බලපෑම් සිදුවන්නේ අන් කවරෙකුටත් නොව අපටමය. එබැවින් ශ්‍රී ලංකාව මෙන් අට ගුණයක් වූ අපට අයිති මහ සයුර අප විසින් දිවි මෙන් සුරැකිය යුත්තේය. ගොඩබිම මෙන්ම මහසයුර ද ආරක්ෂා කර ගැනීම සඳහා වැඩිහිටියන් පාසල් දරුවන් දැනුත් කිරීම ඉතා වැදගත් සත්කාර්යකි.
තොරතුරු - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරය