අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය විරෝධී දෙස් විදෙස් බලවේගයන් කුමන්ත්‍රණයක

    නොවැම්බර් 13, 2014
    විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කොට මෙරට ඊලාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය විරෝධී දෙස් විදෙස් බලවේගයන් කුමන්ත්‍රණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.
     
    තමන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන ඊලාම් රාජ්‍යයේ මැති ඇමතිවරුන් පවා ඔවුන් විසින් නම් කරගෙන ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා කීවේය.
     
    මහරගම, නගර සභාව සංවිධාන කළ වාර්ෂික සාහිත්‍ය උළෙලේ ජයග්‍රාහක දරු දැරියන් වෙත තිළිණ හා සම්මාන පිරිනැමීම නිමිත්තෙන් ඊයේ (12) මහරගම, ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති සාහිත්‍ය උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා මේ බව පැවසීය.
     
    සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සිය දායකත්වය දැක්වූ මහා සංඝරත්නයට ද, ප්‍රදේශවාසීන් සහ පාසල් දරු දැරියන් සඳහා සම්මාන පිරිනැමීමෙන් අනතුරුව සිය දේශනය පැවැත් වූ අග්‍රාමාත්‍යතුමා මෙසේද පැවසීය.
     
    “වසර තිහක් තිස්සේ පැවති යුද්ධය සාර්ථක නිමාවට පත් කිරීමට හැකි වූයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිසි ආශිර්වාදය සහ ශක්තිය ලබාදීම නිසයි.  ඒ සඳහා රටට හිතැති ජනතාව මෙන් ම, මහා සංඝරත්නය ද පූර්ණ ආශිර්වාදය ලබා දුන්නා.  විධායක ජනාධිපති ක්‍රමයකින් සමන්විත නිසි රාජ්‍ය නායකයෙක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත් වීමත් සමග රටට නිවැරදි නායකත්වයක් බිහි වුණා.  ඒ නිසයි තිස් වසරක් තිස්සේ තිබුණු යුද්ධය නිමා කොට ඊලාම් රාජ්‍යයක සංකල්පය ඉවත් කිරීමට අපට හැකි වු‍ණේ.
     
    නමුත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතු යැයි පවසමින් ඇතැම් පිරිස් රට විනාශ කිරීමට උත්සාහ කරනවා.  ඔවුන් ඒ වෙනු‍වට අගමැතිවරයාට බලය සහිත රාජ්‍යයක් නිර්මාණය කළ යුතු යැයි ද කියනවා.  එමගින් සිදු වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රී ධූර ඉහළ පහළ යාම තුළින් නිතරම මැතිවරණ පැවැත්වීමට සිදු වීමයි.  විධායක ජනාධිපති ක්‍රමය නොමැති වුවහොත් රට සංවර්ධනය කරනවාට වඩා මැතිවරණ පැවැත්වීමට සිදු වේවි. 
     
    අපට අවශ්‍ය වන්නේ කොන්ද පණ නැති නායකත්වයකට වඩා ‍රට නිවැරදිව ඉදිරියට ගෙන යා හැකි ඍජු නායකත්වයක්.  ඒ සඳහා සිටින එකම සුදුස්සා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැඳින්විය හැකියි.
     
    අද විපක්ෂයේ ඇතැම් පිරිස් රටේ සංවර්ධන ක්‍රම විවේචනයට ලක් කලත්, රජයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන කොටස් බවට ඔවුන් පත්ව සිටිනවා.  අධිවේගී මහා මාර්ග, වරාය, විදුලිය, ජල සම්පාදන ආදී දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ඔවුන් විසින් ප්‍රයෝජනයට ගන්නා බව මෙහිදී සඳහන් කළ යුතු යැයි” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
     
    සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන ලද මෙහෙවර ඇගයීම වෙනුවෙන් උඩරට අමරපුර මහා නිකායේ මහානායක, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද හිමිපාණන් වහන්සේ වෙත අග්‍රාමාත්‍යතුමා විසින් සුවිශේෂී සම්මානයක් ද මෙහිදී පිරිනමන ලදී.
     
    බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය උපාලි කොඩිකාර, මහරගම නගර සභාවේ සභාපති කාන්ති කොඩිකාර, උප සභාපති සුනිල් කොඩිතුවක්කු, නාගරික මන්ත්‍රීවරුන් වන රත්නසිරි සමන් සේනාධීර, ප්‍රදීප් ලියනගේ, අමරපාල වන්නිආරච්චි, තුෂාර දිසානායක මහත්වරුන්, පාසල් දරු දැරියෝ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya