නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විත්ව පුරවැසිභාව සහතිකපත් ප්‍රදානෝත්සවය විදේශ ඇමති ප්‍රධානත්වයෙන්

    ජූනි 15, 2015

    විදේශ කටයුතු අමාත්‍යාංශය හා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව ද්විත්ව පුරවැසිභාව සහතිකපත් ප්‍රදානෝත්සවය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පසුගියදා (11) පැවැත්වුණි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

     

    එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ මෙය මිලියන එකහමාරක බලවත් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් මෙවැනි පියවරක් ගෙන ඇති විරල අවස්ථාවන්ගෙන් එකක් බව හා 1987 න් පසුව මෙවැනි අචල කැප කිරීමක් කර ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයින් 34,000 ක් පමණක් බවය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රජය, ඩයස්පෝරා ප්‍රජාවගේ වටිනාකම අවබෝධ කරගෙන සිටින අතර ඔබ හැම අපේම පුරවැසියන් ලෙස පිළිගන්නා බවත් ඔබ හැමදෙනාම ශ්‍රී ලංකා ධජය විදේශවලට ගෙන යන මේ රටේ පුරවැසියන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයා තවදුරටත් මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

     

    “ඔබ විසින් ඔබේ දෙවන නිජබිම වශයෙන් තෝරා ගනු ලැබ ඇති රටත්, ඩයස්පෝරාවත්, ශ්‍රී ලංකාවත් අතර පවතින සම්බන්ධතා වැදගත් වේ. එක් පාර්ශ්වයකට අයත් වන වාසිය අනෙක් පාර්ශ්වයට අවාසියක් ගෙන දෙන ක්‍රීඩාවක් නොවිය යුතුය. අප සැමට සාමය අවශ්‍යය. අප සැමට අවශ්‍ය වන්නේ සමානත්වය හා සාධාරණත්වය පවතින සමාජයකි. ලෝකයකි.

     

    ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. නිදහස ලැබීමෙන් පසුව වර්ෂ ගණනාවක් තුළ ජනවර්ග, ආගම්, භාෂා, පංති ආදී වශයෙන් අපි විවිධාකාරයෙන් බෙදී වෙන්වී සිටියෙමු. අපි වේදනාවට පත් වූයෙමු. අපේ රටේ සියලුම ප්‍රදේශවල වැදගත් කොටස් ප්‍රචණ්ඩත්වය නිසා විනාශ විය. අපි ප්‍රචණ්ඩත්වයේ තත්ත්වය මනාව දැක ඇත්තෙමු. චෛතසිකව හා අධ්‍යාත්මිකව එක්සත්වීමට අපට කාලය එළඹ තිබේ. දැනට ශ්‍රී ලංකාවේ වාසය කරන අයත්, රට හැර ගොස් විදේශගතව සිටින ඔබත් යන දෙපිරිසම එක්සත් කළ හැකි පොදු අවකාශය මෙම භූමියයි.

     

    අප යන මේ ගමන් මග තුළ ඔබට වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ශ්‍රී ලංකාව හා සත්කාරක රටවල් අතර පාලමක් ලෙස කටයුතු කරන්නේ ඔබයි. ඔබ එකිනෙකා සත්කාරක රටෙහි දී මෙම රට නියෝජනය කරන තානාපතිවරයන් වෙයි. එමෙන්ම විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මිලියන එකහමාරක් පමණ වූ ජනතාවට ද තානාපතිවරයන් වෙයි.“ යැයි පැවසීය.

     


    මෙම අවස්ථාව සදහා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, ආගමන විගමන පාලක ජෙනරාල් එමි. එන්. රණසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් චිත්‍රාගනි වාගිස්වර මහත්මිය හා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අතිරේක ලේකමි චුලානන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya