ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධ මහතාගේ මෙහෙයවීමෙන් අක්මිමණ, හබරාදුව, හික්කඩුව හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙනුවෙන් මෙම ගොඩනැගිලි තුන ඉදිකර ඇත. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල සිව්මහල් ගොඩනැගිල්ලක් වන අතර අනෙක් ගොඩනැගිලි තෙමහල් ගොඩනැගිලිය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිව් මහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 683ක වියදමින් ඉදිකරන ලද බවයි. 2016 ඔක්තෝබර් මස 08 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 480ක් වැය කර ඇති අතර ඒ සඳහා මුල්ගල් තබා ඇත්තේ ද 2016 ඔක්තෝබර් මස 08 වැනි දිනදීය.
2016 සැප්තැම්බර් මස 09 වැනි දින මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කරන ලද අක්මීමණ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 458කි.
ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර ඒ සඳහා අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 510කි. මෙම ගොඩනැගිල්ල 2017 ජනවාරි මස 09 වැනි දින ඉදිකිරීම් ආරම්භ කර තිබිණි.
මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකිවූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකර තිබේ. ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී තිබේ. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ජනතාවට ඉතා විශාල සේවයක් සිදුකළ ද ඇතැම් කාර්යාල ඉතා අඩු පහසුකම් සහිත ප්‍රමාණවත් තරම් ඉඩක් නොමැති ස්ථාන බවට පත්ව තිබීම හේතුවෙන් එම සේවය කාර්යක්ෂමව සිදුකිරීමේ යම් යම් ගැටලු ඇතිවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල භෞතික වශයෙන් වැඩිදියුණු කිරීම රජයේ ඉලක්කයක් බව ද අමාත්‍ය අබේවර්ධන මහතා පවසයි.
මෙම ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිතුමන්ලා රැසක් සහභාගී වීමට නියමිතය.