අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම දියුණු කරන වැඩසටහන තරුණයන්ට ලබා දී තිබෙනවා- අග්‍රාමත්‍ය

    අප්‍රේල් 11, 2018

    අප ගම දියුණු කරන වැඩසටහන තරුණයන්ට ලබා දී තිබෙනවා. ඉන් පසුව අප රට දියුණු කළ යුතුයි. ගම දියුණු කිරීම සඳහා තරුණ පරපුර අප සමග එකතු විය යුතුයි යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ''යූත් විත්ටැ ලන්ට් - ගමට කෝටියක් 2017 තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ” ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    “තම ගමට රුපියල් කෝටියක පමණ සේවාවක් කළ තරුණ නායක නායිකාවන් අද මෙම අවස්ථාවට සහභාගි වෙනවා. එම නිසා පළමුවෙන්ම ඔබ සැමට ප්‍රශංසාව පළ කළ යුතුයි. ඔබගේ ඥානය, ශ්‍රමය, යොදවා අප ලබාදුන් රුපියල් කෝටි 45 ක මුදලින් ඔබ මුලූ රටටම රුපියල් කෝටි 100 කට වඩා වැඩි වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ ද්‍රව්‍යමය වටිනාකම පමණක් බව කිව යුතුයි. අප ඊට ශ්‍රමයේ වටිනාකම එකතු කොට නැහැ.

    එමෙන්ම තාක්‍ෂණික දැනුම ආදිය ද එකතු කළහොත් ඊටත් වඩා වැඩි වටිනාකමක් සහිත ඉදිකිරීමක් ඔබ විසින් ගමට ලබා දී තිබෙනවා. මෙම වැඩපිළිවෙළ හරහා ඔබ, ඔබේ ගමට දියුණුවක් ලබා දී තිබෙනවා. එවැනි විශාල කර්තව්‍යයක් සිදු කිරීමට හැකි වූයේ ඔබ වැනි තරුණ නායකයන් ගම දියුණු කළ යුතු යැයි තීරණය කළ නිසා බව කිව යුතුයි. රටේ තරුණ කණ්ඩායම් 3000 ක් මෙවැනි සත්කාරක සේවාවන්වලට සහභාගි වුණා. එම සියලූ දෙනා මෙහි කැඳවීමට හැකියාවක් නැහැ. එම සියලූ දෙනාගෙන් ගමට සේවයක් වි තිබෙනවා.

    එදා තරුණ සේවා සභාව විසින් මෙම සත්කාරක වැඩසටහන ආරම්භ කළා. පසුගිය වසරේ පළමු ස්ථානය ලැබූ හිනිදුම ප්‍රදේශයේ පාලමක් බලන්නට මා ගියා. පාලම විවෘත කොට මාස දෙකක් ගත වීමට පෙර ගංවතුර පැමිණියා. එම ගංවතුරෙන් පාලමට හානියක් සිදු වී ඇතිදැයි මා විපරම් කර බැලූවා. සෙසු පාලම් කැඩී ගොස් තිබුණත් තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් සැකසූ ව්‍යාපෘතියක් මගින් ඉදි කළ මෙම පාලමට කිසිඳු හානියක් සිදු වී නැති බව මට දැනගන්නට ලැබුණා. එවැනි ශක්තිමත් වැඩසටහනක් ඔබ විසින් ක්‍රියාත්මක කළ යුතුයි.

    මෙම කාර්යයෙන් සිදු වන්නේ ඉදිකිරීම් කටයුත්තක් පමණක් නොවෙයි. ගම, තරුණ පරපුර සමඟ බැඳීමක් ඇති කර ගන්නවා. එසේ නම් අප ගම දියුණු කරන වැඩසටහන තරුණයන්ට ලබා දී තිබෙනවා. ඉන් පසුව අප රට දියුණු කළ යුතුයි. රටේ ආර්ථිකය කණපිට හැරවිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙදාම වැඩි කළ යුතුව තිබෙනවා. ආයෝජන වැඩි කළ යුතුයි.


    අප බාර ගත්තේ ණය බරින් පීඩාවට පත් රටක් බව අමතක කළ යුතු නැහැ. එම නිසා පළමු වසර දෙක තුනේ දී මුදල් යෙදවීමට නොහැකි වුණා. දැන් අප සංවර්ධනය සඳහා මුදල් යොදවා තිබෙනවා. ගම දියුණු කිරීම සඳහා තරුණ පරපුර අප සමග එකතු විය යුතුයි. අප මෙරට නිෂ්පාදනය වැඩි කළ යුතුයි. අපනයන වැඩි කළ යුතුයි. එමෙන්ම ආයෝජන වැඩි කළ යුතුයි.

    මේ සියලූම පියවර තුළින් රටේ ධනය වැඩි වූ විට පොහොසත් වන්නේ ජනතාවයි. රට, ගම මෙන්ම ජනතාව දියුණු කිරීම අපේ අරමුණයි. එම කාර්යය ආණ්ඩුවට තනිවම කරන්නට හැකියාවක් නැහැ. ඒ වැඩ කටයුත්ත සඳහා තාරුණ්‍යයේ සහයෝගය අවශ්‍යයි. අදට වඩා හොඳ හෙටක් අපි බලාපොරොත්තු වෙනවා. උත්සාහයෙන් ඒ අරමුණ කරා අප ගමන් කළ යුතුයි.

    රට හා ආර්ථිකය ගොඩනැගීමේ දී සීඝ්‍රයෙන් යාමට හැකියාව ඇති අවස්ථාවල දී අප ඒ ගමන ගොස් තිබෙනවා. සෙමින් යා යුතු තැන්වල ගමන සෙමින් යා යුතු වෙනවා. මේ දෙයාකාරයටම ගමන් කොට ශක්තිමත් ආර්ථිකයක්, හොඳ රටක් ඔබට ලබාදීම අපේ අරමුණයි.

    අපගේ ඊළඟ අරමුණ වන්නේ තරුණ තරුණියන් සඳහා රැකියා පුහුණුව ලබා දීමයි. රැකියා පුහුණුව ලබා දී රජයේ සහ පෞද්ගලික ආයතනවල රැකියාවලට යොමු කිරීමට කටයුතු කරනවා. පුහුණුව අවසන් කිරීමට පෙර අදාළ ආයතන සමඟ ඔබේ අනාගත රැකියා සැලසුම් කිරීම අපේ අරමුණයි. ඔබට ස්වයං රැකියාවක නිරත වීමට අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ආධාර ලබාදීම අපේ බලාපොරොත්තුවයි. විශාල පිරිසකට රැකියා පුහුණුව ලබා දී තරුණ ශක්තිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

    එක් පැත්තකින් ඔබ එකතු වී ගම දියුණු කරන්න. අනෙක් පැත්තෙන් රැකියා පුහුණුව ලබා ගෙන ඔබ දියුණු වන්න. රජයක් ලෙස අප කළ යුත්තේ තව තවත් රැකියා අවස්ථා වැඩි කිරීමයි. ස්වයං රැකියා අවස්ථා වැඩි කිරීමයි. ඒ සඳහා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. එම අවස්ථා දියුණු කරන විට තරුණ තරුණියන්ට එයින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව සඳහන් කළ යුතුයි.

    මේ වැඩ කටයුත්ත සංවිධානය කළ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා ඇතුලූ නිලධාරී මණ්ඩලයටත් මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා මුළු ගමටම සෙතක් අත් වී තිබෙනවා. පසුගිය වසරේ මෙන්ම මේ වසරේත් අප එලෙස විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ලබන වසරේදීත් මීටත් වඩා වැඩ කිරීමට වැඩිපුර සම්පත් ලබාදෙන බව අවධාරණය කළ යුතුයි.


    මේ ගැන උනන්දුවක් දක්වන සාගල රත්නායක ඇමැතිතුමා ඇතුලූ අමාත්‍යාංශ නිලධාරීන්ටත් ප්‍රශංසා කළ යුතුයි. තරුණයන්ගේ වැඩ කටයුතු තවත් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහාත් අප ඉදිරියේ දී පියවර ගන්නවා.”

    මෙම උත්සවය සඳහා ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅගෙ යන මහත්වරු ඇතුලූ දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya