මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය සභාව තුළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට හොද ජීවිතයක් ලබා දීමට කටයුතු කළ යුතුයි

    මාර්තු 24, 2018

    ඔබේ නගරයේ, ඔබේ ප්‍රාදේශීය සභාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩා හොද ජීවිතයක් ලබා දීමට කටයුතු කළ යුතු බව නවක පලාත් පාලන මන්ත්‍රීවරු අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රිවරු දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වෙමින් මේ බව පැවසී ය.

    ඔබ සියළු දෙනාම දිවුරුම් දීමෙන් පසුව ඔබගේ ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් ලෙස තේරී පත් වෙනවා. එම ප්‍රාදේශීය සභාවල වැඩ කටයුතු ඔබ ඉදිරියට කරගෙන යා යුතුයි. අපේ ඇතැම් අය පාලක පක්ෂයේත්,තවත් පිරිසක් විපක්ෂයේත් වැඩ කටයුතු කරනවා. පාලක පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා ඔබ කුමන පාර්ශවයකට අයත් වූවත් ඔබේ නගරයේ, ඔබේ ප්‍රාදේශීය සභාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩා හොද ජීවිතයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.


    අද රටේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සංඛ්‍යාව අපි වැඩි කර තිබෙනවා. එහි සභික සංඛ්‍යාව 8000ක් පමණ වන තුරු වැඩි කර තිබෙනවා. මේ තරම් පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් හෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මීට පෙර තිබුණේ නැහැ.

    නමුත් දැන් එහි යම් ගැටළු ඇතිවී තිබෙනවා. මෙතරම් පළාත් පාලන ආයතන ප්‍රමාණයක් අවශ්‍යද? මෙතරම් මන්ත්‍රී ප්‍රමාණයක් අවශ්‍යද? එය අඩු කළ යුතුද ?. යන්න පිළිබඳව දැන් සමාලෝචනය කළ යුතුයි. නමුත් එවැනි සමාලෝචනයක් ඇති වුවත් ඉන් ඔබේ මන්ත්‍රීධුරය අහිමි වන්නේ නැති බවත් මා පැවසිය යුතුයි.

    පසුගිය මැතිවරණයේ ප්‍රධානතම කරුණ ලෙස අප ඉදිරිපත් කළ නව මැතිවරණ ක්‍රමය හැදින්විය හැකියි. මීට පෙර එවැනි මැතිවරණ ක්‍රමයක් තිබුණේ නැහැ. එදා පැවති මැතිවරණ ක්‍රමය තුල පක්ෂ අතර මනාප ගැනීමේ සටනකුත්, පක්ෂය අභ්‍යන්තරයේත් මනාප ලබා ගැනීමේ සටනකුත් පැවතුනා.

    එම ක්‍රමයේ විශාල අඩුපාඩු තිබු හෙයින් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරමින් අප මෙම නව ක්‍රමය ඉදිරිපත් කළා. නමුත් මෙය ක්‍රියාවට නංවද්දී ගැටළු කිහිපයක් ඇති වුණා. ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු තෝරන්නේ කෙසේද? කාන්තා නියෝජනය 25% ක් තිබෙනවාද ? මෙම ක්‍රමය හරහා ප්‍රාදේශීය සභා වල අස්ථාවරභාවයක් ඇති වෙනවාද? මේවා අප මුහුණ දෙන එම ගැටළු ලෙස සැලකිය හැකියි.

    බොහෝ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු, තේරීමට තවමත් නොහැකිවී තිබෙනවා. ඇතැම් සභාවල වැඩි ඡන්ද ප්‍රමාණය එක් අයෙකුට හෝ දෙන්නෙකුට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය සභාවල නිල කාලය වන වසර 04 සම්පුර්ණ වීමට පෙර ඇතැම් ගැටළු ඇති විය හැකියි. එම නිසා මෙම නව මැතිවරණ ක්‍රමය පිළිබඳවත් නැවත වතාවක් සළකා බැලිය යුතුයි. එහිදි අපට ඔබේ අත්දැකීම් ද වැදගත් වෙනවා. අවසානයේ එය ක්‍රියාවට නංවන්නේ ඔබ සියළු දෙනාමයි.

    එසේ නම් අපේ අරමුණ විය යුත්තේ සියලූම පක්ෂවලට නියෝජනයක් ලබා දෙන අතරම, සියලූම ප්‍රාදේශීය සහ නගර සභා වල ස්ථාවරභාවයක් ඇති කිරීමයි. මෙම නව මැතිවරණ ක්‍රමය හරහා එම ස්ථාවර භාවය ඇතිවූවාද යන්න විශාල ගැටළුවක්. එය අපටත් අවබෝධ වී තිබෙනවා. එසේ නම් එය නිවැරදි කිරීමට කළයුත්තේ කුමක්ද? නව සංශෝධන අවශ්‍යද?,ප්‍රාදේශීය සභාවේ ප්‍රශ්ණ පළාත් සභා වෙත පැතිරීම නවත්වාගන්නේ කෙසේද? ආදි ගැටළු ගණනාවක් අද මතුවී තිබෙනවා. මේවා පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් සාකච්ඡාවට ගැනෙනවා.

    මනාප ක්‍රමය ඉවත් කළ නිසා ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අපට හැකියාව ලැබුණා. මෙම නව මැතිවරණ ක්‍රමයේ විශාල වාසියක් ලෙස එය හැදින්විය හැකියි. අපට ඒ පිළිබඳව ආඩම්බර විය හැකියි. නමුත් මෙම ක්‍රමයේ යම් නිවැරදි කිරීම් ඊළඟ මැතිවරණයට පෙර සිදු කළ යුතුයි යන්න අප සියළු දෙනාටම වැටහී තිබෙනවා. අප අවධානය යොමු කළ යුත්තේ ඒ පිළිබඳවයි. ඔබ සභිකයින් ලෙස ක්‍රියා කරන විට අපි ඔබේ අදහස් ද ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මෙහි අඩුපාඩු සකසා ගැනීමට හැකියි.

    දේශපාලනය යනු අත්හදාබැලීමක්. නව මැතිවරණ ක්‍රමය හරහා අප සිදු කළේත් එයයි. මේ හරහා මහජන ඡන්දය ආරක්ෂා වීම, ඊට වටිනාකමක් ලැබීම, විශාල ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම ආදිය සිදු වුණා. මෙම කරුණු ගැන අපට ආඩම්බර විය හැකියි. නව මැතිවරණ ක්‍රමයේ ධනාත්මක අංශයන් ලෙස ඒවා හැදින්විය හැකියි. නමුත් ප්‍රාදේශීය සභා, නගර සභා, සහ මහ නගර සභා තුළ ස්ථාවර භාවයක් නොමැති වීම මෙම නව මැතිවරණ ක්‍රමයේ අවාසියක් ලෙස හඳුනාගත හැකියි. එම නිසා මේ ක්‍රමය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් තීරණය කරනු ලබනවා. නව සභිකයින් ලෙස ඔබ සියළු දෙනාටම හොඳ අනාගතයක් තිබෙනවා. එය සිහිතබා ගනිමින් ඔබ වැඩ කටයුතු කළ යුතු යැයි මම අවසාන වශයෙන් පවසනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya