නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයින් තම හැසිරීම සහ ක‍්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතුයි – ජනපති

    මාර්තු 19, 2018

    ගුණාත්මක සහ වටිනාකමින් ඉහළ දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට මහජන නියෝජිතයින් තම හැසිරීමෙන් සහ ක‍්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් සමග ඊයේ (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය.

    නියමිත කාලසටහනකට අනුව යමින් මහජන ගැටලු විසඳීම සඳහා තම උපරිම දායකත්වය ලබාදිය යුතු බවත් එහිදී මහජනයා සමග ගැටුම් ඇති නොකර ප‍්‍රතිපත්තිගරුකව, සාවධානව හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

    මහජන හඬට සවන් දී පොදු සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමේ දී දූෂණයෙන් සහ වංචාවෙන් තොරව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ප‍්‍රතිඵල පිළිබඳ පසුබට නොවී අඩුපාඩු සකස්කර ගනිමින්, නිවැරදිව හා ශක්තිමත්ව දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට මෙම නියෝජිතයින් පක්ෂයට ශක්තියක් සපයන බව තම විශ්වාසය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පළාත් පාලන සභා රැස්වීම් සඳහා හැකි සෑම විටම සහභාගී වී ගුණාත්මක හරයන් සහිත තම අදහස් හා යෝජනා තුළින් මහජන සේවය වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා, පුවත්පත් හා පොතපත ඇසුරු කරමින් නිතර නව දැනුම ලබා ගැනීමට උනන්දු වන්නැයි ද මහජන නියෝජිතයින් දැනුවත් කළ අතර. එසේ කළහොත් යහපත් දේශපාලන අනාගතයක් උදාකරගත හැකි බව ද කියා සිටියේය.

    ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදී ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ නිසි ඇගයීමෙන් අනතුරුව අවශ්‍ය නම් තවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට තමා කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සහතික විය.

    ජනාධිපතිතුමා ඇතුළු පක්ෂ නායකයින් ඉදිරියේ පළාත් පාලන නියෝජිතයින් විසින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා අවංකව සහ කැපවීමෙන් කටයුතු කරන බවට වන පක්ෂයේ ප‍්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ෆයිිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක යන අමාත්‍යවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

    ආණ්ඩුකාරවරුන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැති ඇමතිවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු, දිස්ත‍්‍රික් හා ආසන සංවිධායකවරු ඇතුළු මහජන නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya