කෑගල්ල, දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට, බෝධි ප්‍රාකාරය සහ ඝණ්ඨාර කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
අද මෙම විහාරස්ථානයට පැමිණීමට ලැබීම මම මහත් පිනක් ලෙස සලකනවා. රන් වැට විවෘත කිරීම සඳහා සහභාගිවීමට ලැබීම ද ඉතා වැදගත්. මේ සක්‍රී ක්‍රියාවට දායක වූ ජගත් කරුණාරත්න මැතිතුමාත් එතුමාගේ සහෝදරයින් සහ පියතුමන් මා හොදින් හඳුනනවා. බියගම සංවිධායකවරයා වන ලෙස එදා මට ආරාධනා කලේ කේ. ඩී. ඩැනියෙල් මැතිතුමායි. එතුමා ඇතුළු කණ්ඩායමක් මට ඒ ආරාධනය කළා. ඔවුන් මට මැතිවරණය ජයග්‍රහණය කිරීමට උදව් කළා. ඒ වගේම මම ජයග්‍රහණය කරන කාලයෙත් පරාජයට පත්වන අවස්ථාවෙත් ඔවුන් මා සමග හිටියා. එය ඉතා වැදගත්. අපි අතර මෙම සමීප මිත්‍රත්වය ඇති වුණේ ඒ හරහායි.
මේ හේතුවෙන් එම මැතිතුමාත්, මැතිණියත් සිහිපත් කරමින් මෙම රන් වැට විවෘත කිරීම, කරුණාරත්න පවුල වෙනුවෙන් මම සතුටින් සිදු කරනවා. රුවන් විජයවර්ධන මැතිතුමාත් මෙම ස්ථානයට පැමිණ සිටිනවා. මම මෙම ප්‍රදේශයට පැමිණෙන විට කල්පනා කලේ මීදෙණිය ගම අයත් වන්නේ කුමන ප්‍රදේශයටද යන්නයි. අප සිටින්නේ කෑගල්ලේ මායිමේ බව මට අවබෝධ වුනේ මෙම ස්ථානයට පැමිණීමෙන්් පසුවයි. එම නිසා මෙම ප්‍රදේශයට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.
මෙම සභාවේදී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවට මම ඇහුම්කන් දුන්නා. උන්වහන්සේගේ ගමේ පන්සලේ වටිනාකම ගැන අගය කළා. බෞද්ධාගම ආරක්ෂා වුණේ ගමේ පන්සල හරහායි. රට පුරා ප්‍රමාණයෙන් විශාල විහාරස්ථාන තිබීමට හැකියි. නමුත් අවසානයේ සියලූ දෙනාම පිහිට පතන්නේ ගමේ පන්සලෙන් බව මතක තබා ගත යුතුයි. ගමේ පන්සලේ ශක්තිමත් දායක සභාවක් සිටිනවා නම් ඔවුන් ගමේ පන්සලේ හාමුදුරුවන්ට සහයෝගය ලබා දෙනවා. එවිට එය ගමට ශක්තියක් වනවා. දේශපාලනිකව හෝ වෙන කුමන ආකාරයකින් ජනතාව බෙදී සිටියත් ගමේ පන්සලේ දායක සභාව හරහා ගම වෙනුවෙන් එකට වැඩ කිරීමේ හැකියාව ඇති වෙනවා. අප එම ශක්තිය ආරක්ෂා කරගත යුතුයි.
සිංහල බෞද්ධයන් ලෙස සියල්ලන් සමග එකට එක්ව වැඩ කිරීමට හැකි වාතාවරණයක් අපි ඇතිකර ගත යුතුයි. සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින රටක් ලෙස රටේ වෙනත් ආගමික කණ්ඩායම් අප කෙරේ දක්වන විශ්වාසය තහවුරු කිරීමටත් අප කටයුතු කළ යුතුයි. එම විශ්වාසය බිඳ වැටෙන විට රට අඩපණ වෙනවා. එම නිසා අප එම විශ්වාසය සෑම විටම ආරක්ෂා කළ යුතුයි.
පසුගිය සතියේ මහනුවර, දිගන තෙල්දෙණිය ආදි ප්‍රදේශවල කලහකාරි තත්වයක් ඇතිවුණා. අපිි එම විශ්වාසය නැවත ඇති කළ යුතුව තිබෙනවා. 1977 දී රටේ ගම්මානවල මෙවැනි දියුණුවක් ඇතිව තිබුණේ නැහැ. විදුලිය, නිවාස, ආදිය මෙතරම් තිබුණේ නැහැ. බියගම ආදී ප්‍රදේශවලත් තත්වය එසේමයි. කොළඹහැර වෙනත් ප්‍රදේශවල එහි දියුණුව පැතිරී තිබුණේ නැහැ. නමුත් පසුගිය වසර 40 තුළ ඇතිවූ විශාල සංවර්ධනයේ ප්‍රතිලාභ ගම්මාන වෙත ලැබී තිබෙනවා. අද ගමට විදුලිය නිවාස, පාසැල් ආදිය ලැබී තිබෙනවා. එදාට වඩා වැඩි සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. කඩසාප්පු, වාහන, මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ ආදි විවිධ වාහන ජංගම දුරකථන ආදිය ගමට පැමිණ තිබෙනවා. ඒ කාලයේ බියගම ප්‍රදේශයේදී දුරකථන සොයා ගත හැකි වුනේ 4ක් – 5ක් පමණයි. ඒ කොළඹසිට හැතැප්ම 10ක් පමණ ඉතා ආසන්න දුරකින් තිබු බියගම එදා තත්වයයි. නමුත් අද ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා.
එවැනි විශාල දියුණුවක් ගමේ තිබුණත් තවම ගම තුළ දුප්පත්කම් තිබෙනවා. ගමේ හොඳ ආදායම් මාර්ග, රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්, වැඩිහිටියන් සිටිනවා. තම කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය අය සිටිනවා. විවාහයට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා ගන්නේ කෙසේද යන ගැටළුව තරුණයින්ට තිබෙනවා. ගමේ කොටසකට මෙවැනි ගැටළු තිබෙනවා. අප විශාල සංවර්ධනයක් ආරම්භ කර තිබෙන්නේ එම කොටසට අවශ්‍ය ආදායම් ලබා දීමටයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි.
අප 1977 දී සංවර්ධනය ආරම්භ කරන විට එවැනි ක්‍රමයක් චීනයේ තිබුනේ නැහැ. මම 1979 දී මම චීනයට යන විට එහි තත්වය මට හො¼දින් මතකයි. වාහන බයිසිකල් ආදිය එදා එහි තිබුණේ නැහැ. නමුත් අද අපි චීනයට ගියොත් ඔවුන්ගේ මහාමාර්ග වාහන වලින් පිරි තිබෙනවා. ඔවුන්ගේ නගර බටහිර රටවල නගර මෙන් දියුණු වී තිබෙනවා.
අපි ඒ කාලයේ ඩුබායි ගුවන්තොටුපලට යන විට එහි තිබුණේ ගොඩනැගිලි කිහිපයක් සහ ටකරං ගැසු මඩු දෙක තුනක් පමණයි. ටකරං ගැසු මඩුවට ගිය විට රස්නය වැඩි නිසා අපි ගුවන් යානයෙන් නොබැස එහිම රැදී සිටියා. එදා එම නගරවල තත්වය එසේයි. අද එම නගරවල විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. අපි කුඩා කාලයේ සිංගප්පුරු ජාතිකයින් මෙහි පැමිණ කොළඹ වරායේ වැඩකළා. නමුත් අද ශ්‍රී ලංකාවේ මිනිසුන් සිංගප්පූරුවේ වරායන්වල රැකියා කරනවා. එදා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මැලේසියාවේ, සිංගප්පුරුවේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණියා. නමුත් අද අපි සිංගප්පූරුවට ගොස් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා. අපේ රටේ වසර 30ක යුද්ධයක් ඇතිවී තිබුණා. එම යුද්ධය නිසා අප පසුබැස්සා. නමුත් දැන් අප සංවර්ධනය ගමට ගෙනැවිත් ගමේ සංවර්ධනය ඇතිකරන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කළ යුතුයි. දැන් අප එම වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. පළමු වසර 2 අපි එම වැඩකටයුතු ආරම්භ කළා. එය තරමක් අපහසු වසර 02ක් වුණා. රටේ ණය ගෙවීමටත් අනෙක් ප්‍රශ්ණ විසදීමටත් එම කාලය ගත වුණා. ජනතාවට ඉවසීම අඩු වුණා. එහි ප්‍රතිඵලය අප ප්‍රාදේශීය සභා මැතිවරණයේදී දුටුවා. ඔවුන් අපට විරුද්ධව ඡන්දය භාවිත කළා. ඊට හේතුව අප කළ ප්‍රකාශ ගණනාවක් අප ක්‍රියාවට නංවා නොතිබීම සහ ඒවා ක්‍රියාවට නංවන වේගය මදි වීමයි. ජීවන බර අප පැවසු ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. පොහොර හිඟයක් ඇතිවුණා.
මෙවැනි ආඩුපාඩුකම් පැවතුණා. එය ආණ්ඩුවට බලපෑමක් වුණා. ජනතා මතය අනුව හැසිරීමට අප ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ ඉල්ලීම අනුව ඉදිරියට යාමටත් අප දැනගත යුතුයි. දේශපාලනය යනු පිල් දෙකක තුනක කඹඇදිල්ලක් නොවේ. රටේ ජනතාවට සේවය කරන්නේ කෙසේදැයි අප අවබෝධ කරගත යුතුයි. රටේ සියළු දෙනාම කල්පනා කරන්නේ දියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. අප සිදුවූ එම වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යායුතුයි.
මැතිවරණයෙන් මාසයක් ගිය පසු අපට මහනුවර කළහකාරී සිද්ධියට මුහුණ දීමට සිදුවුණා. එම තත්වය පාලනය කරමින් දැන් අප ඉදිරියට යා යුතුයි. සිංහල අළුත් අවුරුදු සමය වන විට මේ රටේ ජනතාවට බඩු භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතුයි. අතේ මුදල් තිබිය යුතුයි. සිංහල අළුත් අවුරුදු සමයෙන් පසු ආයෝජකයින් ගෙන්වා ගැනීමෙන් පසු රටේ ජනතාවට රැකියා ලබා දීමේ වැඩසටහන ආරම්භ කරනවා. එවිට කර්මාන්තශාලා, හෝටල්, වරාය, ගුවන්තොටුපල සංවර්ධනය ආදිය සඳහා විවිධ කටයුතු ආරම්භ කරනවා. අප පළමුවෙන්ම දේශීය හා විදේශීය ආයෝජකයින් හරහා ආයෝජන මෙරටට ගෙන්වා ගනිමින් ඔබේ අතට මුදල් ලැබෙන ක්‍රමයක් රට වෙනුවෙන් සකස් කරනවා. එසේ නම් මේ වසරේ විශාල ආයෝජන ප්‍රමාණයක් ගෙන්වා ගනිමින් කර්මාන්ත හා සේවා ගණනාවක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩකටයුතු ඉදිරියට වසර 2 – 3ක් පවත්වාගෙන යන විට ඒවා සාර්ථක වනවා. 2020 පමණ වන විට එහි ප්‍රතිඵල ලබා ගැනීමට අපට හැකි වෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී මහවැලිය, වෙළෙඳ කලාප ඇතිකිරීමට අපට හැකිවුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කිරීමට හැකියාව ලැබුණා. එවැනි විශාල සංවර්ධනයක් නැවත ඇති කිරීමට අප ක්‍රියා කරනවා. අදාල අමාත්‍යාංශ, ආයෝජන මණ්ඩලය , දකුණු සංවර්ධන අමාත්‍යාංශය, වයඹසංවර්ධන අමාත්‍යාංශය ආදිය මේ සම්බන්ධයෙන් මූලික වැඩකටයුතු ආරම්භ කර එම විශාල දියුණුව මෙම ප්‍රදේශවලට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ගමට සංවර්ධනය ගෙන ඒමට නම් අප එම වැඩකටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට ගමේ සැලකිය යුතු ආදායමක් නොමැති අයගේත් ආදායම් වර්ධනය වෙනවා. එවිට ඔවුන්ටත් අනාගතයක් ගැන
විශ්වාසයක් ඇති වෙනවා.
එම විශ්වාසය ඇතිකිරීමට අප පළමුවෙන්ම බිම් මට්ටම සැකසුවා. එම අත්තිවාරම මත කටයුතු කිරීමයි දැන් සිදු කළ යුත්තේ. නමුත් එම අත්තිවාරම් දැමීම සඳහා ගත වූ කාලය වැඩි බවත් ඊටත් වඩා වේගයෙන් ඉදිරියට යා යුතු බවත්, එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ගැටළු අඩුකරගත යුතු බවත් ජනතාව පැවසුවා. එසේ නම් උද්ධමනය පාලනය කිරීමට, සාධාරණ මිලක් තීරණය කිරීමට, ජනතාව අත මුදල් වැඩි ප්‍රමාණයක් ඉතිරි කිරීමට ආදි වැඩසටහන් වෙත අපේ අවධානය යොමුවී තිබෙනවා. අනාගතයේදී රට වෙනුවෙන් දියුණුවක් ඇති කිරීමටත් ඒ දියුණුව හරහා ඔබට සෙත සැලසීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ කර්මාන්ත ශාලා, හෝටල් ආදිය වැඩි වන්නේ නැත්නම් කඩසාප්පු වරාය, ගුවන්තොටුපල ආදිය දියුණු වන්නේ නැත්නම් බෝග අපනයනය වර්ධනය වන්නේ නැත්නම් අපට ආදායම් වර්ධනය කරනවා යැයි පැවසීමට නොහැකියි. එම නිසා අපි රටේ ආදායම වර්ධනය කිරීමට මෙම සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම සැලැස්මේ බොහෝ වැඩකටයුතු දැන් අවසන් වී තිබෙනවා. සිංහල අළුත් අවුරුදු සමයෙන් පසු එය ක්‍රියාවට නංවමින් රට ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.
සියල්ලන්ටම අවශ්‍ය වන්නේ හොඳ අනාගතයක්, තම දරුවන්ට හොඳ අනාගතයක් වැඩි ආදායමක් ආදියයි. එම අරමුණු අප ඉටු කරනවා. ඒ සැලසුම් සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් මෙහිදී සැකච්ඡා කරන්නේ නැහැ. ඉදිරියේදී ඒ ඒ ස්ථානවලදී අප ඒ ගැන සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. රටේ ඇතිවී ඇති නියඟය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. කන්න 04ක ගොවිතැන් කිරීමට නොහැකිවී තිබෙනවා. එයත් අපට මුහුණ දීමට තිබෙන විශාල ප්‍රශ්නයක්. අපට නියඟයට මුහුණ දීමට සිදු නොවුණා නම්, කෘෂිකර්මාන්තය සාර්ථක වූවා නම් , මීටත් වඩා හොඳ ආර්ථිකයක් රට තුළ ඇති වීමට ඉඩ තිබුණා. අප ඒවාටත් විසඳුම් සොයා ගත යුතුයි.
මේ ස්ථානයට පැමිණීමෙන් මට ගම ගැනත්, ගමේ විහාරස්ථානය ගැනත් කතා කිරීමට අවස්ථාව ලැබුණා. මැතිවරණය අවසන් වීමෙන් පසුවත් මේ ආණ්ඩුව කරන්නේ කුමක්දැයි අපෙන් ඇතමුන් විමසනවා. නමුත් රැකියා බිහිකරන , ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙල අප ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර 2 – 3 තුල අප ඉදිරියට යනවා. එහිදී ප්‍රතිපල ලබා ගත හැකියි. තරුණ තරුණියන් විශාල කොටසකට රැකියා පුහුණුව ලබා
දෙමින් ඔවුන් රැකියා වෙත යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගන්නවා. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට තවත් මුදල් ලබා දෙනවා. ඔබ වෙනුවෙන් නිවාස ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ අපේ වැඩසටහනෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් මම ඔබට පැවසිය යුතුයි. මෙම විහාරස්ථානය දියුණු කිරීමට අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගන්නා උත්සාහය අපි අගය කරනවා. ඒ සඳහා ජගත් කරුණාරත්නයන් පවුලේ අනෙක් අයත් ගන්නා පියවර වලටත් අප අවසාන වශයෙන් ස්තුති කරනවා.