වසර 140 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් 77 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා සංචාරය සඳහා එක්ව සිටිති.
ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති දීර්ඝකාලීන මිත‍්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ ක්ෂේත‍්‍ර සඳහා ජපන් රජයෙන් සැපයූ සහයෝගයට ස්තූති කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.
පසුගිය වසරේ පැවති ජී 8 සමුළුවේදී ජපන් අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ( Hon. Shinzo Abe ) මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ශ‍්‍රී ලංකාව කෙරෙහි දැක්වූ මිත‍්‍රශීලීභාවය තමා ඉතා අගය කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජපන් ජයිකා ආයතනය විශාල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබා දුන් දායකත්වය ද ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා, ආයෝජන අවස්ථා වැඩිකර ගැනීමට ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ඕනෑම අවස්ථාවක ජපන් ආයෝජකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ‍්‍රී ලංකා රජය සූදානම් බව ද සඳහන් කළේය.
1979 වසරේ දී ජපන් වාණිජ මණ්ඩල නියෝජනය කරමින් මෙරටට නියෝජිත පිරිසක් පැමිණ ඇති අතර ඉන් අනතුරුව වසර 39 කට පසු මෙරටට පැමිණි විශාල ම ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිස මෙම පිරිසයි.
නියෝජිත පිරිසේ නායකත්වය දැරූ ආචාර්ය අකියෝ මිමුරා ( Akio Mimura) මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත, යටිතල පහසුකම්, වානේ, මෘදුකාංග, ප‍්‍රවාහන හා ගුවන් සේවා යන ක්ෂේත‍්‍රවල ආයෝජන අවස්ථා ලබාගැනීමට තම රජය අපේක්ෂා කරන බවය.
ඒ වෙනුවෙන් සැකසූ නව යෝජනා මාලාවක් ද මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
මේ අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති H.E. Kenichi Suganuma යන මහත්වරු ද එක්ව සිටියහ.