අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවර සිට හම්බන්තොට දක්වා වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්

    ජනවාරි 08, 2018

    නුවර සිට හම්බන්තොට දක්වා වන කලාපය දියුණු කිරීමේ වැඩසටහන යටතේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දින රාජගිරිය නව ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මේ බව සඳහන් කළ අතර එම කතාව පහත සඳහන් වේ.

    " අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීම සිදු කෙරුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු අප ආරම්භ කළ ජාතික ආණ්ඩුව යටතේ මෙම රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වුණා. මෙහි ප්‍රධාන වැදගත්කම වන්නේ එයයි. ඒ වගේම හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට මෙම රාජගිරිය ප්‍රදේශයේ සිට අගනුවර දක්වාම මහා මාර්ග පහසුකම් සංවර්ධනය කිරීමටත් අපි කටයුතු කරමින් සිටිනවා.

    අතීතයේ කොළඹ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණීමේ මහා මාර්ගය වැටී ඇති ප්‍රදේශය ලෙසයි මෙම රාජගිරිය සැලකුණේ. නමුත් මෙම රාජගිරිය ඇතුළු අවට ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් දියුණු වන විට මහා මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් මෙහි සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදු වුණා.
    මෙම යහපාලන ආණ්ඩුව යටතේ රටේ කර්මාන්ත, සංචාරක, සේවා, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයක් මෙන්ම නවීකරණයක් ද ආරම්භ කර තිබෙනවා. එම අංශ සංවර්ධනය කිරීමට නම් රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍යයි. මහා මාර්ග, විදුලිබලය, ජල සැපයුම ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සිදු වෙනවා. ඒ අනුව මේ වසරේදී සැලසුම් සහගතව එම වැඩකටයුතු අපේ රජය විසින් ඉටුකර තිබෙනවා. මීට පෙර පැවැති පාලන ක්‍රම හෝ පාලකයන් ගැන මම මේ අවස්ථාවේදී කතා කිරීමට සූදානම් නැහැ. නමුත් මීට පෙර පාලකයන් විසින් ආරම්භ කර, අවසන් කර නොතිබූ ව්‍යාපෘති ගණනාවක වැඩකටයුතු අවසන් කිරීම අපේ ආණ්ඩුවට භාර වුණා. ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් තිබුණෙත් නැහැ. නමුත් අවශ්‍ය මුදල් සොයා ගනිමින් එම ව්‍යාපෘති ද අවසන් කර යටිතල පහසුකම් දියුණු කිරීමට අපට හැකි වුණා.

    නුවර සිට හම්බන්තොට දක්වා වන කලාපය දියුණු කිරීමේ වැඩසටහන යටතේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරය මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීම ද ඊට ඇතුළත්. ඒ වගේම රටේ ශීඝ්‍ර සංවර්ධනය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත කලාප කිහිපයක්ම ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.  දිවයින පුරා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ ඊට අවශ්‍ය සංචාරක කලාප හඳුනා ගැනීමේ  වැඩකටයුතු අපේ රජය යටතේ සිදුවෙමින් පවතිනවා. මහවැලි ව්‍යාපෘතිය අවසාන කොටස වශයෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. ඒ වගේම ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් අප මේ වනවිට සිදු කරනවා.

    මේ සියලු වැඩකටයුතු ඉටු කරන අතරම, ඊට අවශ්‍ය ලෙස යටිතල පහසුකම් දියුණු කිරීමට අපට සිදුව තිබෙනවා. ඒ අනුව යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහනේ වැදගත් සංකේතයක් ලෙස අද විවෘත වූ මෙම රාජගිරිය නව ගුවන් පාලම හඳුන්වා දිය හැකියි. සංචාරක, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සේවා, ඉදිකිරීම්, ධීවර ආදී සියලූ අංශ සංවර්ධනය කරමින් යහපාලන ආණ්ඩුව යටතේ ලැබුණු ජී.එස්.පී. ප්ලස් බදු සහනයේ වාසිය ලබාගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක අපනයන ආර්ථිකයක් හඳුන්වාදීම මේ සියලූ ව්‍යාපෘතින්හි අවසන් ප්‍රතිඵලය ලෙස හැදින්විය හැකියි. ඒ හරහා රටේ තරුණ තරුණියන්ට වැඩි ආදායම් සහිත රැකියා අවස්ථා ලබාදෙමින් රටේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. එය අප ජනතාවට ලබාදුන් පොරොන්දුවක් සේම අපේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් ද වනවා. එම අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව කිසිඳු සැකයක් තබාගත යුතු නැති බව මම මේ මොහොතේ කියන්න කැමැතියි.

    මෙම රාජගිරිය නව ගුවන් පාලම ඉදිකිරීමට අපට සහයෝගය ලබාදුන් ස්පාඤ්ඤ රජයට මම ස්තූතිවන්ත වනවා. ඒ වගේම ඉදිකිරීම් කටයුතු සිදු කළ මහා මාර්ග අධිකාරියටත්, ශ්‍රී ලංකාවේ ඇක්සස් සමාගමටත්, ස්පාඤ්ඤ සමාගමටත් මම අවසාන වශයෙන් ස්තූතිවන්ත වනවා.  "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya