අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහලට මුල්ගල් තැබේ

    දෙසැම්බර් 07, 2017
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම ඊයේ (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
     
    වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරේ.
     
    පොළොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන සම්පූර්ණ මුදල චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීම විශේෂත්වයකි.
     
    උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.
     
    වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලු සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප‍්‍රතිකාර ඒකකයක් සහිත බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් මීට ඇතුළත්ය.
     
    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත‍්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බවයි.
     
    එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳව අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ සංචාර රැසකදී මනාව සනාථ වූ බව ද කියා සිටියේය.
     
    වත්මන් රජයට නින්දා අපහාස කොතෙක් එල්ල කළ ද අද රටේ සංවර්ධනය තුළ විශාල වෙනසක් සහ පරිවර්තනයක් සිදුව තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතමා කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය ඇතුළු සියලු ක්ෂේත‍්‍ර පුළුල් සංවර්ධනයකට ලක්ව තිබෙන බව සඳහන් කළේය.
     
    මිත‍්‍ර රාජ්‍යයක් ලෙස චීනය සැමදා ශ්‍රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා තමා 2015 වසරේදී චීනයේ කරන ලද සංචාරයේදී චීන ජනාධිපති ෂීන් ජින් පින් මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම සුවිශේෂී තිළිණය පිළිබඳව චීන ජනාධිපතිවරයා ඇතුළු රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.
     
    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    මේ අතර පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප‍්‍රතිකාර සංකීර්ණය සඳහා මුල් ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    රක්තවාතවේද හා පුනරුත්ථාපන ඒකකයක්, භෞතචිකිත්සක ඒකකයක් සහ ආඝාත හා ස්නායු වෛද්‍ය ඒකකයින් සමන්විත මෙම ආඝාත ප‍්‍රතිකාර සංකීර්ණය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 කි.
     
    “පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන” යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය දින 548 ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය.
     
    ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ගොඩනැගිලි සංකීර්ණයේ සැළැස්ම ද අධීක්ෂණය කළේය.
     
    පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya