නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ අයවැයක් නොවීම පිළිබඳව සතුටු වෙනවා

    නොවැම්බර් 11, 2017

    මෙවර මැතිවරණ අයවැයක් වේ යැයි ජනතාව අපේක්ෂා කළා. රටේ ආර්ථිකය අමතක කර ඉදිරිපත් කළ අයවැයක් අපේක්ෂා කළා. නමුත් එවැනි තත්ත්වයකට මේ අයවැය වැටී නැතැයි කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින පැවැත්වෙන විවාදයට සහභාගීවෙමිනි.

    ලෝකයේ හරිත සංකල්පය අනුව ඉදිරිපත් කර තිබෙන මේ අයවැය ගැන අපි සතුටු වෙනවා. මුදල් ඇමැතිවරයා වන මංගල සමරවීර මහතා අපේ පක්ෂයේ සිටියදීත් මේ වගේ නිර්මාණශීලි කටයුතු සිදු කළා. ඔහු එජාපයට ගොස් සම්මුති ආණ්ඩුවේ අයවැයක් ලෙස මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා. රටේ ජනතාවගේ චෝදනාවලින් අවම වූ අයවැයක් ලෙස අපට මේ අයවැය හඳුන්වන්න පුළුවන්. මෙය මැතිවරණ අයවැයක් වේවි කියලා ජනතාව අපේක්ෂා කළා. රටේ ආර්ථිකය අමතක කර ඉදිරිපත් කළ අයවැයක් අපේක්ෂා කළා. නමුත් එවැනි තත්ත්වයකට මේ අයවැය වැටී නොතිබීම ගැන අපි සතුටු වෙනවා. ආර්ථික වර්ධනය සියයට 5 දක්වා ඉහළ නැංවීමට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. රටේ බඩු මිල ඉහළයි කියලා ජනතාව මැසිවිලි නැඟුවා. එයට පිළියමක් ලෙස අයවැය ඉදිරිපත් කරන්න පෙර විශේෂ ගැසට් එකකින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කළා. විදුලි මෝටර් රථ මිල අඩු කර තිබෙනවා. එය යහපත් දෙයක්.

    ත්‍රීරෝද රථ ගැන කර තිබෙන යෝජනා හොඳයි. ත්‍රීරෝද රථ නිසා අනතුරු රැසක් ඇති වී තිබෙනවා. අපේ ප්‍රදේශයේ වගේ බැලුවාම මැණික් පතල් කරන්න කම්කරුවන් නොමැති තත්ත්වයක් උදා වී තිබෙනවා. එයට හේතුව තරුණයන් මොනවා හෝ දෙයක් කරලා රැකියාව විදියට මුළු දවස පුරාම ත්‍රීරෝද රථයක් පාරට දාගෙන සිටිනවා. ගොවි ජනතාවට යෝජනා කර තිබෙන රක්ෂණ ක්‍රමයත් ඉතා හොඳයි. මේ රක්ෂණ ක්‍රමය නිසා බෝග වර්ග පහක් වගා කරන අයව ආවරණය වෙලා තිබෙනවා. එය පුළුල් ලෙස ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කළ යුතුයි. පසුගිය ගංවතුර නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු කරන ජනතාවට ආදායම අහිමිව තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. බියර් බද්ද ඉවත් කරන්න පියවර ගෙන තිබෙනවා. කම්කරුවන් අතපය වෙහෙසා ගොඩට ඇවිත් එය නැති කර ගන්නට කුමන හෝ මත්වතුරක් බොනවා. ගල් අරක්කු මිල අඩු කරන්න කියලා මං යෝජනා කරනවා. අඩු වියදමකින් ගල් අරක්කු ගන්නට හැකි නම් කසිප්පු බීමෙන් හැදෙන රෝග අඩු කර ගත හැකියි. රජයක් විදියට මේ ගැන කල්පනා කළ යුතුයි. රටක් සංවර්ධනය කිරීමට ව්‍යවසායකත්වය ඉතා වැදගත්. ඇපකාරයෙක් නොමැතිව වුවත්  
    ණය මුදලක් ගෙන තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගන්නට හැකි යෝජනාවකුත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. සමස්ථයක් ලෙස මේ යෝජනා ජනතාවට යහපත්යැයි ද අමාත්‍යවරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya