මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියල්ලේ ම පැවැත්ම ඡන්දය මතයි - මහින්ද දේශප්‍රිය

    ඔක්තෝබර් 10, 2017
    ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට බහුතරයකගේ මතයක් පැවතිය ද රටක පැවැත්ම සඳහා රජයක් මෙන්ම පාලකයන් ද සිටිය යුතු බවත් ඒ අනුව සියල්ලේ ම පැවැත්ම ඡන්දය මත රඳා පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 10) මැතිවරණයන් සඳහා කාන්තා නියෝජනය පිළිබඳ මැතිවරණ කොමිසමේ පැවැති දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි. මේ සඳහා කාන්තා මාධ්‍යවේදිනියන් පිරිසක් සහභාගි වි සිටියහ.
     
    ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවලද තවමත් සිදුරු කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකාව 1947සිට පැන්සල භාවිත කරමින් කතිරය ගසා තම ඡන්දය ප්‍රකාශ කරන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව සෙසු රටවල් හා සැසඳීමේ දී ඉහළ ඡන්ද සාක්ෂරතාවයකින් පසුවන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
     
    ජනගහනය දෙස බැලීමේ දී මැතිවරණයන් සඳහා ඉදිරිපත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක් ගන්නා බවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කතාබස් කිරීම මෙන් ම කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් මැතිවරණයන් සඳහා කාන්තා නියෝජනය ඉතා වැදගත් බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    "ඡන්දය ලබාදීම මූලික අයිතිවාසිකමක්. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැමට මේ අයිතිවාසිකම හිමිවනවා. ඡන්ද නාමලේඛනයට නම ඇතුළත්වීම අවශ්‍ය වන්නේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාගැනීමට මිස තම පදිංචිය තහවුරු කිරීමට හෝ තම දරුවා පාසලට ඇතුළත් කරගැනීමට නොවෙයි. බොහෝ අවස්ථාවලදී අධිකරණයේ ඉහළ නිලධාරීන්, ව්‍යාපරිකයන්, ඉහළ දේශපාලන අධිකාරීන් හට ඡන්ද නාමලේඛනයේ නම් ඇතුළත් නොවීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහි ගොස් තිබෙනවා. ඡන්ද නාමලේඛනයේ නම ඇතුළත් නොවුණත් මැතිවරණය සඳහා ඉදිරිපත් විය හැකියි නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ". 
     
    මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේ සංශෝධනය වූ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් සභික සංඛ්‍යාව ගනනය කොට එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනතුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් නිසි කලට මැතිවරණයන් නොපැවැත්වීම තුළින් ජනතා කැමැත්ත ප්‍රකාශ නොවන බවත් පෙන්වාදුනි.
     
    පළාත් පාලන ආයතන තුළ අඩුම කාන්තා නියෝජනයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බවත් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය හරහා 25%ක කාන්තා නියෝජනය 100%ක් සාක්ෂාත් කිරීමට නොහැකිවන අවස්ථාවන් ද ඇතිවිය හැකි බවත් පැවසීය.
     
    මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පළමුවරට ඡන්ද පොළේදී ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් පවතින ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම හරහා තෝරාගන්නා සභිකයන්ගේ ප්‍රමාණය ගැසට් මගින් නිවේදනය කිරීමෙන් අනතුරුව දින 75ක් ඇතුළත අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya