මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු අප භාර ගත්තේ ගිලෙමින් තිබූ ආර්ථිකයක්- අග්‍රාමාත්‍ය

    ඔක්තෝබර් 03, 2017

    රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ ප්‍රධාන කාර්යයයි. රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහිකළ යුතුයි. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු අප භාර ගත්තේ ගිලෙමින් තිබූ ආර්ථිකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.


    හිඟුරක්ගොඩ, ගෝල්ඩන් ‍ෆ්ලවර් හෝටලයේදී පසුගිය දින පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙසේ සඳහන් කළේ ය.

    පසුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පොළොන්නරුව ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. ඒ අනුව එළඹෙන ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණවලදී ද මේ දිස්ත්‍රික්කය අපට ජයග්‍රහණය කළ හැකියි. මෙම හමුවට සහභාගිවීම පිළිබදව මම ඔබ සියළු දෙනාට ස්තුතිවන්ත වෙනවා. පොළොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනාත්, ඔබේ සංවිධායක ඩොනල්ඩ් මැතිතුමාත් මීට පෙර අදහස් ප්‍රකාශ කළා. ඔවුන් සදහන් කළ කරුණ පිළිබදව මම නැවත දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

     

    මා විශේෂයෙන්ම මෙහි පැමිණියේ ඉදිරියට අපි සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න පිළිබදව ඔබව දැනුම්වත් කිරීම සඳහායි. රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ ප්‍රධාන කාර්යයි. රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහිකළ යුතුයි. අපේ කාලසීමාව තුල අපි ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ එයයි. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු අප භාර ගත්තේ ගිලෙමින් තිබූ ආර්ථිකයක්. තවත් අවුරුදු 2ක් ඉදිරියට ගියා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනවා. ලැබෙන ආදායමින් රටේ ණය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක සිටි ඔහුට තවත් අවුරුදු 2ක දක්වා රට ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා ආර්ථිකය කඩා වැටීමට පෙර ජනාධිපතිවරණය හරහා නැවත ජනාධිපති වී බලය රැක ගැනීමට ඔහු උත්සාහ කළා. අපි සියල්ලොත් ඒ වන විට බෙදී සිටියා.


    නමුත් ඒ අවස්ථාවේ අපි එකට එක්වුණා. ප්‍රථිඵලය වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත්ව යාම සහ මෙම පොළොන්නරුව ප්‍රදේශයේම අමාත්‍ය වරයෙක් වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී ජනාධිපති ධූරයට පත්ව, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමයි. මහින්ද රාජපක්ෂට මේ ආර්ථිකයත් ආණ්ඩුවත් ඉදිරියට ගෙන යාමට නොහැකි නම් අපටත් ආණ්ඩුවත්, රටේ ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමට නොහැකි වේ යැයි සුළු පිරිසක් පැවසුවා. නමුත් අප පළමුවෙන්ම වැටී තිබු ආර්ථිකය බේරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළා. ආර්ථිකය කඩා වැටුනොත් ජනතාවට ප්‍රතිලාභ ලබා දිය නොහැකියි. මේ නිසා ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති
    කිරීමට අප පළමු අවුරුදු 2 ගත කළා. දැන් ආර්ථිකය ස්ථාවරය වී තිබෙනවා.

     

    ආදායම් බදු වැඩි කලා යැයි ඇතැමුන් අපට චෝදනා කලා. නමුත් මේ වනවිට ලැබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකි වී තිබෙනවා. ඒ තුලින් ආණ්ඩුවේ සියලූ වියදම් ගෙවීමට නොහැකියි. 2020 – 2025 වන විට රටේ ආර්ථිකය
    සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය වසර දෙකේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට විශාල කාර්යභාරයක් ඉටු කළා. 2018 සහ 2019
    වර්ෂයන් ණය ගෙවීමේ බැරැරුම් කාලයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. හිටපු ජනාධිපතිතුමා ණය ලබා ගත්තේ අපේ රටේ ඉදිරි පරම්පරා දෙකක් දක්වාම ණය බර දැරීමට සිදුවන ආකාරයටයි. නමුත් මේ ගැටළුව 2025 වන විට මේ සම්පූර්ණයෙන් විසදීමට අපි සූදානම්.


    ඒ නිසා මෙම ගැටළුව විසදන තුරු සෑම අවස්ථාවකදීම රටේ ජනතාවට බොරු කියන්න මම කැමති නෑ. බලය ලබා ගැනීමෙන් පසු අප ඉටු කලේ මොනවාදැයි ඇතැමුන් ප්‍රශ්ණ කරනවා. අපට රැකියා ලබා දෙනවාදැයි ඇතැමුන් ප්‍රශ්ණ
    කරනවා. අවුරුදු 5ක නිල කාල සීමාවේ පළමු වසර 02 තුළ අපි ආර්ථිකය ශක්තිමත් කර ගත්තා. ඉදිරි අවුරුදු 3 තුළ රට සංවර්ධනය කරමින් රැකි රක්ෂා ලබාදීමේ අවස්ථාවට දැන් පැමිණ තිබෙනවා. නමුත් පසුගිය වසර දෙක තුලදීත් අපේ ආණ්ඩුව රුපියල් දස දහසකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 4ක්ද ලබා දී තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල් අප හා සමීප කර ගැනීමට හැකිවුණා. චීනය, ජපානය,
    ඉන්දියාව වගේම යුරෝපය රුසියාව, ඇමෙරිකාව ආදි සියලූ රටවල් දැන් අප සමඟ සිටිනවා. ඔවුන්ගේ ආයෝජන තුලින් සංවර්ධනය කරා යෑමට දැන් අපට පුළුවන්. පුද්ගලික ආයෝජන වෙනුවෙන් අපි එක් රාමුවක් ගොඩනැගුවා. ලංකාවේ කුඩා ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර හා විදේශ ව්‍යාපාර ද මෙයට ඇතුලත් වෙනවා.


    හම්බන්තොට වරාය සුදු අලියෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් අපි එයට මුදල් යොදවා සියලූ දෙනාට ප්‍රතිලාභ ලබා දීමට ක්‍රියා කළා. එසේම, ගුවන්තොටුපල, වෙළඳ කලාප, ළ්ණ්ඝ් විදුලි බලාගාර, පිරිපහදු මධ්‍යස්ථාන හාකර්මාන්තශාලා සදහා අපි විශාල ලෙස මුදල් යෙදෙව්වා.මේ වන විට කළුතර අක්කර 800ක් යොදා ගනිමින් සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. වයඹවෙළඳ කලාප 3ක් සහ මහනුවර හා පරන්තන් හි විශාල සංවර්ධන කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.


    ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම හා මහනුවර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ද අපි දැන් වැඩ කටයුතු ආරම්භ කළා. ඒ වගේම කොළඹ නගරය රටේ මුල්‍ය මධ්‍යස්ථානය බවට පත් කරනවා. අපි පොළොන්නරුව අමතක කර නැහැ. සංස්කෘතික ත්‍රිකෝණය සහ සංචාරක කලාපයට පොළොන්නරුව ඇතුලත් කළ බව මම සතුටින් සදහන් කරනවා. කෘෂි ආර්ථිකය පමණක් පොළොන්නරුවට ප්‍රමාණවත් වන්නේ නැහැ. සංචාරක ආර්ථිකයක් තුලින් පොළොන්නරුවට විශාල ප්‍රතිලාභ ලබා දීමට හැකි වෙනවා.

    මෙයට සමගාමීව නැගෙනහිර කුච්චවේලි සිට ආරුගම්බේ දක්වා විශාල ප්‍රදේශයක වෙරලාසන්න සංචාරක හෝටල් පද්ධතියක් ගොඩ නැගීමට අපි සූදානම්. එය පොළොන්නරුවේ සංවර්ධනයට විශාල ලෙස බලපානවා. හබරණ
    ප්‍රදේශය ද දියුණු කළ යුතුයි. ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සදහා හම්බන්තොට, කොළඹ ඇතුළු සියලූ වරායන්ගෙන් ප්‍රයෝජන ලබා ගත යුතුයි. ඒ සදහා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට අපි ඉන්දියාව සමග සාකච්ඡා පවත්වනවා. පළමුවෙන් පොළොන්නරුවේ කර්මාන්ත ආරම්භ කර එය ත්‍රිකුණාමලය දක්වා ව්‍යාප්ත කරනවා.


    පොළොන්නරුවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සොයා බැලීමට සංචාරක අධිකාරියේ කණ්ඩායමක් යොමු කරන ලෙස මම දැනුම් දී තිබෙනවා. මේ ආකාරයට රට පුරාම සංවර්ධන කටයුතු සිදු කරනවා. කෘෂිකර්මය තුලින් පමණක් අප රට දියුණු කළ නොහැකි නිසා අනාගතය ගැන සිතමින් විවිධ කර්මාන්ත දෙසට අපි අවධානය යොමු කළ යුතුයි. පොළොන්නරුවේ තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබා දීමෙන් ඔවුන්ට පිට පළාත් වලද රැකියා වල නිරත වීමේ අවස්ථාව ලැබෙනවා. ස්වයං රැකියා සදහාද අපි විශේෂ සැලැස්මක් හදුන්වා දෙන බව මම කියන්න කැමතියි. මෙම ප්‍රදේශයේ සංවර්ධනයට ස්වයං රැකියා අවස්ථා ඉතා වැදගත්.
    කොළඹ ප්‍රදේශයේ ස්වයං රැකියා ආරම්භ කිරීම පහසු කාර්යයක් වුවත් මේ


    ප්‍රදේශය ස්වයං රැකියා ආරම්භ කිරීමට අපි විශේෂයෙන් ආධාර උපකාර කළ යුතුයි. රැකියා ලබාදීම, රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම, කාන්තාවන්ට ස්වයං රැකියා ලබාදීම ආදි සංවර්ධන වැඩ කටයුතු අප දැන් ආරම්භ කර
    තිබෙනවා. අප ඒවා ඉදිරියට ගෙන යා යුතුයි. රටට බලපෑ නියඟය නිසා මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට හානි ඇති වුණා. ඉන් රටේ ආර්ථිකයට බලපෑමක් ඇතිවුණා. නමුත් නියඟයෙන් අනතුරුව රටේ ආර්ථිකයත්, කෘෂිකර්මාන්තයත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අනාගතයේදී රටේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමට විශාල වැඩසටහනක් අප සතුව තිබෙනවා. අප එම සැලසුම සාර්ථකව ක්‍රියාවට නංවා ගත යුතුයි.


    එක්සත් ජාතික පක්ෂය දැන් සිටින්නේ රටේ දේශපාලනයේ ඉහළම තලයේයි. එනම් අප දැන් ආණ්ඩු බලය ලබා ගෙන තිබෙනවා. නමුත් ඊට පහලින් තව කොටස් දෙකක් තිබෙනවා. එනම් බිම් මට්ටමේ ඇති ප්‍රාදේශීය සභාවත් මැද කොටස වන පළාත් සභාවත් ක්‍රියාත්මක වනවා. මම මීට පෙර පැවසූ ආකාරයට කෘෂි කර්මාන්ත සංවර්ධනය සදහා අප සතු ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් එම පළාත් සභාවලත්, ප්‍රාදේශීය සභාවලත් ජයග්‍රහණය ලබා ගත යුතුයි. එම කොටස් 02 ම මහ ආණ්ඩුව සමග එකට එකතු කරගනිමින් ක්‍රියා කිරීම තුළින් අපට කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට ලැබෙනවාටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එම ප්‍රතිඵල ඉදිරියේදී භුක්ති විදීමට නම් අපට ඇති එකම මාර්ගය පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ජයග්‍රහණය ලබා ගැනීමයි. ප්‍රාදේශීය සභා ඡන්දය එළඹෙන ජනවාරි මාසය පමණ වනවිට පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා.


    ප්‍රාදේශීය සභා සහ පළාත් සභාවල බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වුවහොත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් අපට ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. එම ජයග්‍රහණ ලබාගැනීම
    වෙනුවෙන් අප වෙහෙසිය යුතුයි. ප්‍රාදේශීය සහ පළාත් සභා ජයග්‍රහණ කිරීම මගින් මහජනතාවට තවත් ආධාර උපකාර ලබාදීමට අපට හැකි වෙනවා. ප්‍රාදේශීය සභා පළාත් සභා ජයග්‍රහණය මගින් අප වැඩකටයුතු ආරම්භ කළ
    යුතුයි. ආණ්ඩුවේ ව්‍යුහය තුළ ඒවායේ බලය තහවුරු කර ගත යුතුයි.


    අපි බලයට පැමිණ තවමත් ගතවී තිබෙන්නේ වසර 02යි. එම කෙටි කාලය තුළ අපට ඇතැම් අයගේ ඉල්ලීම් ඉටු කිරීමට හැකි වූ අතර, ඇතැම් අයගේ ඉල්ලීම් ඉටු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධව සතුටක් සහ අසතුටක් යන කරුණු දෙකම ජනතාව අතර තිබෙන බව අප දන්නවා. නමුත් අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ බලයට පත්වී මේ තරම් කෙටි කාලයක් තුළ සියලූ දේට පිළියම් ලබා දිය නොහැකි බවයි. අප මේ රටේ බලය ලබා ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවකයි. රටේ ආර්ථිකය යම් තරමකින් හෝ යහපත් මට්ටමක පැවතුණා නම් අපට කෙසේ හෝ ඉදිරියට යාමට තිබුණා. නමුත් අපට මෙවර සිදු වූයේ කඩා වැටී තිබූ ආර්ථිකය නැවත ගොඩනැගීමෙන් පසුව ඉදිරිය ගැන අවධානය යොමු කිරීමයි.


    ආර්ථිකය ගොඩගැනීමේ කාර්යය අප අත්හැරියා නම් අපට රටේ බලය අහිමි වී යනවා. කෙසේ හෝ ආර්ථිකය ගොඩගැනීමේ කාර්යය සාර්ථකව ඉටු කරගැනීමට හැකි වූ නිසාත් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව කටයුතකළ නිසාත් දේශපාලන බලය තවමත් අප සතුව තිබෙනවා. දැන් අප කල්පනා කළ යුත්තේ ඉදිරි මැතිවරණයට සූදානම් විය යුතු ආකාරය පිළිබඳවයි. අපේ මහලේකම්තුමා පැවසූ ආකාරයට මෙහි සිටින බොහෝ පිරිසක් පක්‍ෂයට අපහසුම අවදියේ පක්‍ෂයත් සමග සිටි අයයි. ඉදිරියේදී අප ඔවුන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. මේ සියල්ල වඩාත්ම සාර්ථකව හා පහසුවෙන් සිදුකිරීමට නම් ප්‍රාදේශීය සභා හා නගර සභා අප සතු කර ගත යුතුයි.


    ප්‍රාදේශීය සභා මට්ටමේ සහ පළාත් සභා මට්ටමේ ඇතැම් ප්‍රශ්න අපට තවමත් විසඳීමට නොහැකිවී තිබෙන්නේ ඒවායේ සම්පූර්ණ බලයක් අප සතුව නොමැති බැවිනුයි. අප මේ වනවිට අවධානය යොමු කරමින් විසදා ඇත්තේ ජාතික මට්ටමේ ගැටළු පමණයි. මුළු රටේම ප්‍රාදේශීය සභා ඡන්ද එක් දිනයකදී පවත්වන අලූත් ක්‍රමයකට අප දැන් සූදානම් වෙමින් සිටිනවා. එය ජනාධිපතිවරණය මෙන් එක් ඡන්දයක් නොවෙයි. මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය කොට්ඨාශ 5000 ක් තුළ පැවැත්විය යුතු වෙනවා. ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්න විසදා ගැනීමට නම් අපට එම මැතිවරණ 5000 ජයගත යුතු වෙනවා.


    හිඟුරක්ගොඩ ආසනයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සභා කොට්ඨාශ 20 හිම ජයග්‍රහණය අප හිමිකර ගත යුතුයි. සෑම මැතිවරණ කොට්ඨශයකටම ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 2 ක් හෝ 3 ක් තිබෙනවා. ඒ සියලූම මැතිවරණ කොට්ඨාශයක් වෙනුවෙන්ම එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායමක් නිර්මාණය කර ගත යුතුයි. ජනාධිපතිවරණයේදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ද අපේ පක්‍ෂය විසින් පිහිටුවා ගන්නා කණ්ඩායම මැතිවරණය වෙනුවෙන් කැපවී වැඩකටයුතු කළ යුතුයි. නමුත් අප මැතිවරණය සඳහා එම කණ්ඩායම් නිර්මාණය කිරීම තවමත් අවසන් කර නැහැ. නොවැම්බර් මාසය වන විට එම වැඩකටයුතු අවසන් කිරීමට සියලූදෙනා පියවර ගත යුතුයි.


    පාක්‍ෂිකයන් රැස්කරමින්, විවිධ මත ගැටුම් හේතුවෙන් අමනාප වූ අපේම පාක්‍ෂිකයන් රැස්කරමින් මෙම සංවිධාන ඇති කිරීම අප ආරම්භ කළ යුතුයි. මැතිවරණය වෙනුවෙන් අප වෙහෙසවී වැඩකටයුතු කළ යුතුයි. මැතිවරණය
    පවත්වන තුරු සෑමදාම ඒ වෙනුවෙන් වෙහෙසවී කටයුතු කළ යුතුයි. අනෙක් කාරණය මැතිවරණය සඳහා සුදුසු අපේක්‍ෂකයන් තෝරා ගැනීමයි. කන්තා, පිරිමි සහ තරුණ කණ්ඩායම් අතුරින් අප එම අපේක්‍ෂකයන් තෝරාගත යුතුයි. තෝරා ගත යුත්තේ ජයග්‍රහණය කළ හැකි අපේක්‍ෂකයන් පමණයි. එසේ නොමැතිව පළක් නැහැ. අනිවාර්යෙන් ජයග්‍රහණය කරන අපේක්‍ෂකයන් තෝරා ගැනීමට අපට හැකි වනවා නම් බලය ලබාගැනීමත් ඒ ආකාරයෙන්ම සිදු වනවා.


    මැතිවරණය වෙනුවෙන් අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීම සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී සිදු කිරීමට අප තීරණය කර තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට නොහැකි අපේක්‍ෂකයන් තෝරා ගැනීමෙන් වැළැකීමටයි. ඒ සඳහා වන ඔබගේ යෝජනා අපට ඉදිරිපත් කළ හැකියි. යෝජනා අනුව සාකච්ඡා කර බලා අප මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ නොහැකි නම් එම ප්‍රදේශයේ සංවිධායක ධූරය දැරීමෙන් ද ඵලක් නැහැ. එසේ නම් අප ඉදිරියට යා යුත්තේ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමිනුයි.


    ඉදිරියේදී පළාත් සභා ද මේ ආකාරයට කොට්ඨාශ ක්‍රමයට බෙදීමට කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ පළාත් සභාවල බලය එක්සත් ජාතික පක්‍ෂය වෙත ලබා ගැනීමේ අරමුණින් ඔබ සියලූදෙනා කටයුතු කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමග අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගත්තා. රටේ ජාතික මට්ටමේ වැඩකටයුතු සිදු කරන්නේ එම ජාතික ආණ්ඩුව හරහායි. නමුත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හරහා කිසිදු පක්‍ෂයක අනන්‍යතාව අප නැති කර ගෙන නැහැ. ඒ අනුව පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා වෙන වෙනම තරග කරමු යැයි අප තීරණය කළා. නමුත් කෙසේ හෝ අප කළ යුත්තේ ජයග්‍රහණය ලබාගැනීමයි. මැතිවරණය පැවැත්වෙන ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 288 මත පක්‍ෂයේ ජයග්‍රහණය රැඳී තිබෙනවා. පාක්‍ෂිකයන් මැතිවරණය වෙනුවෙන් සංවිධානය වන්නේ නැත්නම් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ල අපිට
    ජයග්‍රහණය ලබාගැනීමට හැකි බව මගේ විශ්වාසයයි.


    ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමෙන් පසු පළාත් සභාව ජයග්‍රහණය කිරීමට හැකි වනවා. ජයග්‍රහණය වෙනුවෙන් රැකියා අවස්ථා වැඩි කිරීම ආදී සහන ජනතාවට සළසා දිය යුතුයි. පසුගිය වසර 20 පුරාවට අප සතුව බලයක්
    තිබුණේ නැහැ. රාජපක්‍ෂ රෙජිමය ප්‍රාදේශීය සභා තුළ වසර 15 ක් බලයේ සිටියත් ඔවුන් බිම් මට්ටම වෙනුවෙන් කළ දෙයක් නොමැති තරම්. බිම් මට්ටමේ රැකියා බිහි කරමින් ආර්ථිකය දියුණු කර ගැනීම කළ යුතුයි. ජනතාවට රැකියා ලබාදීමේ ගැටලූවෙන් ආණ්ඩුවක් ලෙස අපට මඟහැර යා නොහැකියි. ගම්මානවලට අවශ්‍ය විදුලි බලය, මාර්ග පද්ධති ලබාදී තිබුණත් රැකියා අවස්ථා තව තවත් ලබා දිය යුතු වෙනවා. නමුත් බිම් මට්ටමේ බොහෝ දෙනා තවමත්
    සාමාන්‍ය පෙළ මට්ටම දක්වා හෝ අධ්‍යාපනය ලබා නැහැ. නමුත් ඒවාට විසඳුම් ලබාදෙමින් අප ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ විරැකියාව ඉහළ යනවා. එක් කාලයකදී රටේ රැකියා ප්‍රශ්නයට සිවිල් ආරක්‍ෂක සේවයත්, හමුදාවත් විසඳුම් ලබාදුන්නා. නමුත් දැන් සිවිල් ආරක්‍ෂක සේවයෙන් හෝ හමුදාවෙන් රැකියා වැඩි ගණනක් ලබාදිය නොහැකියි.


    මේ සියලූ දේ පිළිබඳව අවධානය යොමු කරමින් මේ වනතුරු ග්‍රාමීය මට්ටමෙන් අපි ජනතාවට ලබාදුන් දේ පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂයේත් අඩුපාඩුකම් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම.
    රුපියල් 10ක් වියදම් කර සිදු කරන කාර්යයට රුපියල් 100 ක් වියදම් වූ බව මවා පෑවා. නමුත් අප රු. 100 ක වැඩකළත් බොරුවට මවා පාන්නේ නැහැ. මෙලෙස අප සිදු කරන කාර්යයන් පිළිබඳව නිසි ප්‍රචාරයක් ග්‍රාමීය මට්ටමෙන් රැගෙන යන්නේ නැත්නම් මැතිවරණය ජයග්‍රහණය කිරීම අපහසුයි. පසුගිය වසර 02 තුළ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කරන අතරම, ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් අපි හැකි තරම් මුදල් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නා. එම මුදල් විවිධ ආකාරයෙන් ඔවුන්ට ලබාදුන්නා. අමාත්‍යංශ හරහාත්, ජාතික මට්ටමේත් වැඩකටයුතු ගණනාවක් සිදු කළා. ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබාදුන්නා. රජයේ සේවකයන්ගේ
    වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. රැකියා අවස්ථා ලක්‍ෂ 04 ක් බිහි කළා. මේ සියල්ල අප සිදු කර අවසන්. ඒ පිළිබඳව දැන් අපට ජනතාව දැනුම්වත් කළ හැකියි.


    අප සිදු කර ඇති කාර්යයන් පිළිබඳ සැකසුණු පොතක් ඉදිරියේදී ඔබට ලබාදෙනවා. මේ වනතුරු අප සිදු කළ සියලූ දේ එහි සඳහන් වනවා.මැතිවරණයකට ප්‍රචාරක පත්‍රිකා ලබාදුන් පසු මැතිවරණය අවසන් වීමෙන් පසුවත් ඒවා නිවසේ ඉතිරි කරගන්නා ආකාරයටම ඉදිරියේදී ලබාදෙන මෙම පොතත් කියවා පසෙකින් තබන්නට එපා. එය කියවා අවබෝධ කරගනිමින් අපි ජාතික මට්ටමේ රට වෙනුවෙන් කළේ කුමක් දැයි පිළිබඳව ජනතාව දැනුම්වත්
    කළ යුතුයි. ඒ වගේම තමන් ප්‍රාදේශීය සභා කොට්ඨාශවල සිදු කළේ කුමක්දැයි සටහන් කිරීමට තවත් පොතක් පවත්වාගෙන යන මෙන් සියලූම සංවිධායකයන්ට අප ඉදිරියේදී උපදෙස් ලබාදෙනවා. අප සිදු කරන සියලූම සංවර්ධන කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකි වන්නේ ආර්ථිකය සංවර්ධනය කර ගත් නිසයි. එම නිසා එම සියලූ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් කළ
    යුතුයි.


    එසේ නම් බිම් මට්ටම හොදින් සංවිධානය වී අප ඉටු කළ වැඩකටයුතු පිළිබඳව හොඳ ප්‍රචාරයක් ගන යනවා නම් මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව අප සතුයි. නොවැම්බර් මාසය පමණ වන විට කොමපණ සංඛ්‍යාවක් අපට සහයෝගය දක්වනවා ද, නැත්නම් විරුද්ධ පාර්ශවයට සහයෝගය දක්වනවා ද යන්නත් අප මැතිවරණය වෙනුවෙන් සහයෝගය ලබාගත යුත්තේ කුමන පුද්ගලයන් ගෙන් ද යන්නත් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනවා.ඇත්ත වශයෙන්ම ප්‍රාදේශීය සභා මැතිවරණය යනු ජයග්‍රහණය සඳහා මුදල් අවශ්‍ය වන මැතිවරණයක් නොවෙයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වන්නේ අපේක්‍ෂකයන්ගේ සහ සංවිධායකයන්ගේ දහදිය සහ මහන්සියයි. මෙම කරුණු දෙක අපේ සියලූම අපේක්‍ෂකයන් සතුව තිබෙනවා නම් ජයග්‍රහණය කිරීම පහසු කටයුත්තක්.


    මම පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ නගර සභා මැතිවරයටයි. ඒ කාලයේ අපේක්‍ෂකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ගෙයින් ගෙට පැමිණියා. ඔවුන් එලෙස පැමිණ සිය මැතිවරණ පත්‍රිකා නිවෙස්වලට ලබා දෙනවා. පසු කාලයේ මම බියගම ආසනයෙන් දේශපාලනය කරන විට ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සියලූම මැතිවරණ කොට්ඨාශවල සංවිධාන කටයුතු එක් එක් පුද්ගලයින් විසින් භාර ගත්තා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යන විට ඔවුන් අපට ආහාර සහ තේ පැන්වලින් සංග්‍රහ කළා. එහිදී අපට විශාල වියදම් දැරීමට සිදු වුණේ නැහැ. ඒ වගේම බොහෝ අය ගම්මට්ටමේ රැස්වීම් තම තමන් විසින්ම සංවිධානය කර ගත්තා. පෝස්ටර් සහ ප්‍රචාරක පත්‍රිකා ලබාදීම පමණයි මම සිදු කළේ. රැස්වීම් 03, 04 කදී පමණක් එම සංවිධායකන් ශබ්ද විකාශන යන්ත්‍ර මගෙන් ඉල්ලා සිටියා.


    ඇත්ත වශයෙන්ම මම කළේ ප්‍රධාන රැස්වීම් දෙක පැවැත්වීමත්, මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා ලබාදීමත් පමණයි. අනෙක් සියලූ කටයුතු එම ගම්මානවල පාක්‍ෂිකයන් සහ සංවිධායකයන් විසින් භාරගෙන වෙහෙස වී ඉටුකළා. නමුත් පසුව මනාප ක්‍රමයක් ඇතිවීමත් සමග පැරැණි ක්‍රමය අවසන් වුණා. එහිදී ඇතැම් පිරිසක් මෙරිල් මහතාටත්, තවත් පිරිසක් ඒකනායක මහතාටත්, තවත් පිරිසක් නෙල්සන් මහතාටත් සහයෝගය ලබාදුන්නා. නමුත් දැන් අපි නැවතත් පැරැණි ක්‍රමයට කටයුතු කළ යුතුයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් පළමු, දෙවැනි හෝ තුන්වෙනි මනාපය ජනතාවගෙන් ඉල්ලමින් දේශපාලනය කිරීමේදී බොහෝ විට එක් මනාපයක්වත් නොලැබෙන අවස්ථා තිබෙනවා. එම නිසා මැතිවරණය වෙනුවෙන් වෙහෙසවී වැඩකරන ලෙසත්, ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව සමග පක්‍ෂයෙන් ඉටුවිය යුතු වැඩකටයුතු පිළිබඳව කතා බහ කරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද මම මෙම ස්ථානයට පැමිණියේ අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් වන ඔබ හමුවී ඒ හරහා අනෙක් පිරිසත් දැනුම්වත් කරමින් ශක්තිමත් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya