දැනට පොලිස් නිලධාරීන් භාවිතා කරන නිල ඇඳුම්, හිස් වැසුම් සහ සපත්තු සාම්පල කිහිපයක් ඊයේ (25) දිනයේදී අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් නිරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුවයි අදාළ උපදෙස් ලබාදී ඇත්තේ.
එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන්කර ඇත්තේ පොලිස්පතිවරයාගේ සිට කොස්තාපල්වරයා දක්වා සියලු ම නිලයන් සඳහා නිල ඇඳුම් භාවිතයේදී ගුණාත්මකභාවයෙන් ඉහල එකම රෙදී වර්ගයක් භාවිතා කරන ලෙසයි. මීට අමතරව දැනට පොලිස් කොට්ඨාස මට්ටමින් නිලධාරීන්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු සිදුකෙරෙන අතර එය පොලිස් රාජකාරිවලට බාධාවක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ. ඒ අනුව අදාළ නිලධාරීන්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම නිල ඇඳුම් මැසිම සඳහා පොලිස් නිලධාරීන්ට දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොමැති හෙයින් එය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇත.
මීට අමතරව පොලිස් හිස්වැසුම් සහ සපත්තු සාම්පල ද නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයාට එහිදී අනාවරණය වූයේ පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් භාවිතා කරන සපත්තු සහ හිස්වැසුම් අධික බරකින් යුත් බවයි. දිනයේ වැඩි පැය ගණනක් රාජකාරියේ නිරතවන පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට එය දැඩි අපහසුවක් වන බවයි අමාත්‍යවරයා එහිදී සිය අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වාදී ඇත්තේ. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් සැහැල්ලු සපත්තු සහ හිස්වැසුම් එම පොලිස් නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
පොලිස් නිල ඇඳුම්, හිස්වැසුම් සහ සපත්තු සාම්පල් නිරීක්ෂණයට ලක්කළ මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වී ඇත.