මෙම පනත් කෙටුම්පත ප්‍රථම වතාවට ජූලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව තුන්වන වර කියවීමේ කාරක සභා සාකච්ඡාවද අද දිනයේදීම අවසන් කිරීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු කිහිපයක් පවරා තිබිණි. මේ අතරතුර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පනත සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් හා ආදායම් බදු ගෙවන අනෙකුත් පාර්ශවයන් සමඟ මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.
දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාර සහ වෘත්තීය සමිති හා අදාළ වෙනත් පාර්ශවයන් සමග කරන ලද සාකච්ඡා පදනම් කරමින් මෙම පනත් කෙටුම්පතට සංශෝධන බොහොමයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජිත නව බදු පනත මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් කිසිදු නිලධාරියෙකුගේ රැකියාවේ සුරක්ෂිතතාවයට කිසිදු හානියක් සිදු නොවන බව අවධාරණය කෙරේ. එමෙන්ම, මෙම නව බදු පනත ක්‍රියාත්මක වූවාට පසුව වුවද සේවක අර්ථසාධක අරමුදල් ලාභීන්ට හා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන මුදල් සඳහා අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොවේ. එමෙන්ම, උපයන විට ගෙවීමේ බදු (PAYE) සඳහා වන නිදහස් සීමාව දැනට පවත්නා රු. 750,000 වාර්ෂික සීමාව රු. 1,200,000 දක්වා වැඩිකරනු ලැබේ. ඒ අනුව දැනට උපයන විට බදු ගෙවන බොහෝ අයට බදු ගෙවිය යුතු වන්නේ නැත.
මෙම දේශීය ආදායම් නව පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූවායින් පසුව ශ්‍රී ලංකාවේ සිටින විදේශ සමාගම් විසින් සිය රටට ලාභ යැවීමේදී අයකරනු ලබන ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද ආදිය ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, සංස්ථාපිත බදු ඇතුළු අනෙකුත් ආදායම් බදු ගෙවීම 2018 අප්‍රේල් 01 නව බදු වසරේ සිට ක්‍රියාවට නංවනු ඇත.
වර්තමානයේදී අයකරනු ලබන 10%, 12%, 15%, 20% හා 40% යනුවෙන් පවත්නා විවිධ බදු අනුපාතයන් සරල කර ඇති අතර, මින් ඉදිරියට එයට 14%, 28%, හා 40% යනුවෙන් බදු අනුපාත 03 ක් හඳුන්වා දෙනු ලැබේ. පුද්ගල ආදායම් බදු ගෙවීමේදීද දැනට පවතින රු. 500,000 ක් වන බදුවන ආදායම් කාණ්ඩ රු. 600,000 දක්වා වැඩිකරනු ලැබේ. ඕනෑම තනි ව්‍යාපාරිකයෙක් හෝ ආදායම් ලබන පුද්ගලයෙක් තම වාර්ෂික ඉපයීමෙන් ලැබෙන ශුද්ධ ලාභය වසරකට රු. 500,000 දක්වා බදු වලින් නිදහස් කෙරේ.