අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පළමු නේවාසික තානාපති ඉතියෝපියානු ජනාධිපතිට අක්ත පත්‍ර භාර දෙයි

    මාර්තු 15, 2017

    ශ්‍රී ලංකාව ඉතියෝපියාවට පත්කළ පළමු නේවාසික තානාපති සුමිත් දසනායක මහතා මාර්තු 09 වන දින ඉතියෝපියානු ජනාධිපති මුලාටු තෙෂෝමේ (Mulatu Teshome) මැතිතුමා වෙත අක්ත පත්‍ර භාරදෙන ලදී.

    අක්තපත්‍ර භාරදීමේ උත්සවය ඉතියෝපියාවේ ජාතික මාලිගයේදී පැවති අතර එය හමුදා උත්තමාචාර පැවැත්වීම, දෙරටේ ජාතික ගීතයන් වාදනය කිරීම, ජනාධිපති සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ආදී අංගයන්ගෙන් සමන්විත වූ විචිත්‍රවත් අවස්ථාවක් විය.

    ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තරකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය විය. එහිදී, විශේෂයෙන්ම පසුගිය මාසයේදී ශ්‍රී  ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ නිල සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවන්හි ප්‍රගතියද ඇගයීමට ලක්විය. තානාපති සුමිත් දසනායක මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැතිගේ සුභාශිංසන ඉතියෝපියානු ජනාධිපතිට පිරිනමන ලදී. ඉතියෝපියානු ජනාධිපතිතුමාට ලංකාවේ සංචාරයක් සඳහා කර ඇති නිල ආරාධනය පිළිබඳව මෙහිදී තානාපතිතුමා විසින් විශේෂයෙන් මතක් කරන ලදී.

    ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර නිල තානාපති සබඳතා 1972 දී ආරම්භ විය. ඉතියෝපියාවේ පළමු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 පෙබරවාරි 02 වන දින ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඔහුගේ ඉතියෝපියානු නිල සංචාරය අතරතුරදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. එම අවස්ථාවට ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, තානාපතිවරුන්, රාජ්‍ය නිළධාරීන් සහ ඉතියෝපියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

    සුමිත් දසනායක මහතා අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන්ද කටයුතු කරයි. අප්‍රිකානු සංගමයේ මූලස්ථානය ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි (Addis Ababa) පිහිටා ඇති අතර එය අප්‍රිකානු රටවල් 54ක් සාමාජිකත්වය හොබවන ජාත්‍යන්තර සංවිධානයකි.

    සුමිත් දසනායක මහතා 1998 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්විය. ඔහු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉන්දියාව, නෝර්වේ සහ කැනඩාව යන රටවල පිහිටි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලවල විවිධ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිලයන් හොබවා ඇත. දසනායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය හිමිකරගෙන ඇති අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya