වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළ අතර අභියෝග රැසකට මුහුණ දීමෙන් පසුව මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.
“ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසුගිය වසරේ ආදායම රුපියල් බිලියන 44ක් වනවා. ඒ ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ණය පොලිය සහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභය රුපියල් බිලියන 11ක්. එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක්. ඒ කියන්නේ 2015 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභය රුපියල් බිලියන 6ක් වුණා. ඒ අනුව වසරක් තුළදී තම ලාභය සියයට 83 කින් වැඩි කර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ ජයග්‍රහණය ලබා ගත්තේ දැඩි අභියෝග මැද. 2015 වසර ආරම්භයේදීම අපි සියලු සේවකයින්ගේ වැටුප සියයට 15 කින් වැඩිකර තවත් රුපියල් 9දහසක දීමනාවක් ලබා දුන්නා. ඒ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව අතිකාල දීමනා වැඩි වුණා. ඒ අතරේ සේවකයින්ගේ සුභ සාධනය ඉහළ නැංවීමට කටයුතු කළා. සිංගප්පූරුව, ඉන්දියාව, බංගලාදේශය සහ මැලේසියාව වැනි රටවල් සමග තරග කිරීමට සිදු වුණා. 2016 වර්ෂයේදී හම්බන්තොට වරායේ ණය සහ පොළිය ලෙස රුපියල් මිලියන 7, 100 ක් ගෙවන්නට සිදු වුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 ක්. මෙවැනි අභියෝග රැසක් මැද්දේ තමයි 2016 වර්ෂයේදී රුපියල් බිලියන 11ක ලාභය ලබා ගත්තේ. පරිපාලනයේ නිසි කළමනාකාරීත්වය සහ සේවකයින්ගේ දැඩි කැපවීම නොවන්නට මේ ජයග්‍රහණය ලබා ගන්නට බැහැ. වරාය අධිකාරියේ නාස්තිය දූෂණය පිටුදැකීමත්, අනවශ්‍ය වියදම් කපා හැරීමත් මේ ජයග්‍රහණයට හේතු වුණා. උදාහරණයක් ලෙස, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 22යි දශම 6යි. 2016 වර්ෂයේදී එය රුපියල් බිලියන 20යි දශම 2 දක්වා බිලියන දෙකයි දශම 04කින් අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. එමෙන්ම අපි එනවිට ගාලු වරාය සහ ත්‍රිකුණාමලය ලාභ ලැබුවේ නැහැ. නමුත් දැන් එය ලාභ ලබනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් කරන ප්‍රධාන පර්යන්තය වන්නේ ජයබහළු පර්යන්තය. එහි ගැඹුර මීටර් 14යි දශම 2යි 5ක්. නමුත් අද වන විට නෞකා දිනෙන් දින විශාල වනවා. මේ හේතුවෙන් මීටර් 14ට වඩා ගැඹුරැති නෞකා මෙන්ම මීටර් 350ට වඩා දිගැති නෞකා ජයබහළු පර්යන්තයට පැමිණෙන්නේ නැහැ. විශේෂයෙන්ම 2015 වසරේදී අපිට මීටර් 14ට වඩා ගැඹුර ඇති නෞකා ලෙස ගත් විට නෞකා 23ක්ද මීටර් 350ට වඩා දිගැති නෞකා ලෙස ගත් විට නෞකා 271ක්ද අහිමි වුණා. එහිදී අපිට අහිමි වූ බහළු ප්‍රමාණය පන් ලක්ෂ 89දාස් පන්සිය 53ක් වනවා. නැවත අවධාරණය කරනවා එවැනි අභියෝගයක් මැද තමයි අපි බිලියන 11ක ලාභය ලබා ගත්තේ. ඉදිරියේදී මේ අභියෝගය තවත් දැඩි විය හැකියි. විශේෂයෙන්ම අද වන විට කුඩා නෞකා ඉවත් කර විශාල නෞකා බහළු ප්‍රවාහනය සඳහා යොදා ගැනීමේ නව ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ නිසා මේ ගැටළුවට ස්ථීර පිළිමයක් අවශ්‍යයි. ඒ සඳහා අපිට තියෙන එකම විසඳුම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම. ඒ සදහා ආයෝජකයෙක් සමග ඉදිරියට යන්න සාකච්ඡා කරමින් සිටිනවා. කොහොම නමුත් රටට වාසි සහගත තීරණයකට එළැඹීමට අපි උත්සාහ කරනවා.
මීට පෙර වරායට ලැබිය යුතු අදායම් නිසි පරිදි වරායට ලැබුණේ නැහැ. නමුත් අපි එම ක්‍රමවේදය නැවැත්වුවා. හොඳම උදාහරණය වරාය ප්‍රවේශ ගාස්තු. අපි පැමිණීමට පෙර වරායේ බහළු ලොරි රථයක ප්‍රවේශ ගාස්තුව වුණේ රුපියල් 300ක්. නමුත් බහළු ලොරි රථ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී ලක්ෂ ගණන් විවිධ අයගේ සාක්කුවලට ගියා. අපි ඒ ක්‍රමවේදය නතර කළා. අද සියලුම මුදල් ලැබෙන්නේ වරායට. 2016 වසරේ වරාය බලපත්‍ර නිකුත් කිරීමේ ආදායම රුපියල් මිලියන 92ක්.
පසුගිය කාලයේදී කොළඹ වරාය යාවත්කාලීන කිරීමට අවධානය යොමු කර තිබුණේ නැහැ. නමුත් අද අපි එය සිදු කරමින් සිටිනවා. C F S – 01 ගුදම හැදුවේ එහි එක් පියවරක් ලෙසින්. මේ ගුදම සැදීමට ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 410ක්. නමුත් එම ගුදම සෑදීමේ කොන්ත්‍රාත්තුව පිටතට නොදී වරාය අධිකාරිය විසින් සිදු කිරීම නිසා අපිට වියදම් වුණේ භාණ්ඩ වියදම ලෙස රුපියල් මිලියන 175ක් විතරයි. එයින්ම අපිට රුපියල් මිලියන 235ක් ඉතිරි කර ගැනීමට හැකිවුණා.
අද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් ඉන්නේ තෘප්තිමත් බවින්. වෘත්තීය සමිති නායකයින් යැයි කියා ගත් කිහිප දෙනෙක් බොරු චෝදනා නගමින් අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. නමුත් එය සියලු සේවකයින් තේරුම් අරගෙන සිටින්නේ. අද සේවකයින් අප සමග ඍජුව කටයුතු කරමින් සිටිනවා. නිවාස කමිටු, ස්ථාන මාරුවීම් කමිටු, උසස්වීම් කමිටු ඇති කර සේවකයින්ගේ ගැටළු විසඳීමට කටයුතු කර තිබෙනවා”යැයිද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.