2015 යල කන්නයේ වී මෙ.ටො. 120,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ ඇපකරයක් මත රුපියල් මිලියන 6,000 ක පොරොන්දු ණයක් ලබාදී තිබේ. ඒ අනුව ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 4,000 ක් හා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 2,000ක් වෙන් කර ඇත.
මෙයට අමතරව වී මිලදී ගැනීමේ නඩත්තු වියදම් සඳහා රුපියල් මිලියන 312 ක් වෙන් කර ඇති අතර එයින් රුපියල් මිලියන 30ක් ආරම්භක වියදම් වශයෙන් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇත.
2014 / 2015 මහ කන්නයේදී මිලදී ගන්නා ලද වී මෙ.ටොන් 160,000 ක් දැන් ගබඩාවල පවතියි. වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වී තොගය වෙළද පොලට නිකුත් කිරීම ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
කුඩා තේ වතු හිමියන්ගේ තේවලට රුපියල් 80/- ක සහතික මිලක් ලබා දීම හා ගොවි ජනතාව හා සාමාන්‍ය ජනතාව විසින් රජයේ බැංකුවල උකස් කරන ලද රන් භාණ්ඩ සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය.
ඒ අනුව කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරකට පමණ සෙත සැලසෙන පරිදි තේ කිලෝවක් රුපියල් 80/- සහතික මිලට මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 5,438 ක මුදලක් නිදහස් කර ඇත. ප්‍රථම වතාවට ආරම්භ කරන ලද තේ කිලෝවක් සඳහා රුපියල් 80/- ක සහතික මිලක් ගෙවීම වෙනුවෙන් පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 6,300 ක් වෙන් කරන ලදී.
දිවයින පුරා පිහිටි තේ කර්මාන්තශාලා 712 මගින් මිලදී ගනු ලබන තේ දළුවල ගුණාත්මකභාවය අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලබාදෙන සහන මිල අඩුවැඩිවේ. කෙසේ වෙතත් තේ කිලෝවක් සඳහා ගෙවන රුපියල් 80/- සහන මිලෙහි කිසිදු වෙනසක් නොමැතිව මෙය දැන් දිවයින පුරා ක්‍රියාත්මක වේ. තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලාවල පෙර මාසයේ මිල සාමාන්‍ය අනුව තේ මණ්ඩලය විසින් සහතික මිලට අදාළ ගෙවීම් ප්‍රතිපූර්ණය කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 6,300 ක් වෙන් කර ඇත.
අක්කර 50ට අඩු සුළු පරිමාණ රබර් වතු හිමියන්ගෙන් රබර් මිලදී ගැනීමේදී අංක 1 වර්ගයේ රබර් කිලෝවක් සඳහා රුපියල් 350ක සහතික මිලක් ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 2300 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර තිබේ.
ලංකාවේ සමස්ථ රබර් නිෂ්පාදනයෙන් 75% එනම් මෙට්‍රික් ටොන් 6,000ක් පමණ නිෂ්පාදනය කරනු ලබනුයේ කුඩා රබර් හිමියන් විසිනි. පෙර පැවති ක්‍රමය අනුව, විකිණීමෙන් පසුව සහතික මිල ලබා ගැනීම සඳහා කුඩා රබර් වතු හිමියන්ට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙ කාර්යාලවලට යාමට සිදුවිය. මෙම කරදරකාරී ක්‍රමවේදය රජය විසින් වෙනස් කර තිබේ. නව රජය මගින් හඳුන්වා දී ඇති නව ක්‍රමය යටතේ රබර් මිලදී ගන්නා අවස්ථාවේදීම රබර් වෙළද නියෝජිතයන් විසින් රුපියල් 350/- ක සහතික මිලට ලබා දෙන බැවින් කුඩා වතුහිමියන්ට මෙතෙක් තිබූ දුෂ්කරතා ඉවත් කරන ලදී.
මෙසේ රබර්වලට රුපියල් 350/- ක සහතික මිලක් ගෙවීම සඳහා රජයේ අතුරු අයවැය මගින් රුපියල් මිලියන 3,600 ක් වෙන් කර ඇත.
ජනතාව විසින් උකස් කරන ලදුව අක්රමික ගණයේ තත්ත්වයට පත්ව ඇති රුපියල් දෙලක්ෂයට අඩු වටිනාකම් ඇති රන් භාණ්ඩ උකසෙන් බේරාගැනීම සඳහා ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලැබුවේද ප්‍රථම වතාවටයි. රජයට අයත් බැංකු හයක උකස් කර ඇති එවන් රන් භාණ්ඩ බේරාගැනීමේදී තිබෙන අධික පොළිය 12% දක්වා අඩුකර නිදහස් කරනු ලැබේ.
පසුගිය කාලයන්හි වැඩි පොළියට උකස් කර තිබූ භාණ්ඩ ප්‍රතිලාභීන් 36,000 දෙනා විසින් මෙසේ සහන ක්‍රමය යටතේ රජයේ බැංකුවලින් මෙතෙක් බේරාගෙන ඇත. මේ සඳහා එම බැංකුවලට රුපියල් මිලියන 93ක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවා තිබේ.
ගොවි ණය සියයට 50% කින් කපා හැරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනුයේ ද ප්‍රථම වතාවටයි. කාලගුණ විපර්යාස නිසා ඇතිවූ වගා පාළුව හේතුවෙන් පාඩු ලැබූ ගොවීන්ට මෙතෙක් බලයේ සිටි රජයන් විසින් කළින් කළ ණය ප්‍රතිලේඛණ ගතකොට, ගෙවීමේ කාලය දීර්ඝ කළා විනා ණය කපාහැරීමක් සිදු කර නොමැත.
ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ලංකා පුත්‍ර බැංකුවවලින් ලබාගෙන තිබූ ලක්ෂයට අඩු ගොවිණය 50% කින් කපා හැරීම වෙනුවෙන් රුපියල් මිලියන 780 ක් අදාළ බැංකු වෙත නිදහස් කරන ලදි.
සාමාන්‍යයෙන් බෝග වර්ග 32ක් සඳහා මාස 6 සිට 9 දක්වා කාලසීමාවකට කෙටි කාලීන ගොවි ණය රජයේ බැංකුවලින් නිකුත් කෙරේ. මෙසේ කෙටි කාලීන ගොවි ණය ලබා ගත් කුඩා ගොවීන් 58,033 දෙනෙකුගේ වගා ණය මේ වනවිට 50% කින් කපාහැර තිබේ. මේ සඳහා නව රජයේ අයවැය මගින් රුපියල් මිලියන 2,500ක් වෙන් කරන ලදී.
මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීමේ තැන්පතු සඳහා වැඩි කරන ලද 15% පොළී සහනය ගෙවීම සඳහා ද රුපියල් මිලියන 1,067ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිදහස් කර ඇත.
සාමාන්‍යයෙන් උද්ධමනය අඩුවීමත් සමඟ මේ දිනවල ඉතිරිකිරීමේ තැන්පතු සඳහා ගෙවනු ලබනුයේ 6%ක පමණ පොළී අනුපාතිකයකි. එහෙත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් දසලක්ෂය දක්වා වූ තැන්පතු සඳහා සියයට 15% ගෙවනු ලැබේ. ඒ අනුව 9% ක වෙනසට අදාළ මුදල රජය මගින් ගෙවනු ලබයි. ඕනෑම බැංකුවක තිබෙන ස්ථාවර තැන්පතු සඳහා මෙම ඉහළ පොළී අනුපාතය ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 4,000ක් මෙම වසරට වෙන් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර මෙම සහන ක්‍රමය යටතේ මෙතෙක් ලංකාවේ වානිජ බැංකු 27 ක ගිණූම් පවත්වාගෙන යනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 140,957 දෙනෙකුට මෙයින් සෙත සැලසී ඇත. බැංකුවල නියමිත පොළි අනුපාතයට අමතරව 15% දක්වා ගෙවනු ලබන පොළියේ වෙනස සහනයක් ලෙස වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොළියට එකතුකරනු ලැබේ. මෙසේ වැඩි කරන ලද පොළි ගෙවීම සඳහා 2015 වසරේ මුල් කාර්තුවට පමණක් රජය විසින් රුපියල් මිලියන 1,067ක මුදලක් බැංකු වෙත නිකුත් කර ඇත.
SDF