2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබා ගැනීම ජයග්‍රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ කෘෂි අපනයන ආදායමේ අඩු වීමක් දක්නට ලැබුණා. ඒ අනුව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට හැකිව තිබෙනවා. මේ කාලය තුළ පැවතුණේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණික තත්ත්වයන් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එවන් අභියෝග හමුවේ මේ අත්කර ගත් ප්‍රගතිය සැබැවින්ම ජයග්‍රහණයක් බවත් පැවසිය යුතුයි.
උදාහරණයක් වශයෙන් 2023 වසරේ අප්‍රේල් මාසය වන විට තේ වලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 407.6ක අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450.5ක් දක්වා වැඩි වී තිබෙනවා.
ඒ වගේම 2023 වසරේ අප්‍රේල් මාසය වන විට පොල් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 212ක ආදායමක් ලැබුවා. එය 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 263 දක්වා වර්ධනය වී තිබෙනවා. 2023 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 299ක් වූ රබර් අපනයන ආදායම 2024 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 335 ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ කුරුඳු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 53.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 56.1 දක්වාත්, ගම්මිරිස් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 13.3 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 14.0 දක්වාත් වැඩි වී තිබෙනවා.
කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නිරන්තරයෙන් ඉහළ පහළ යන ක්ෂේත්‍රයක්. පසුගිය සමයේ තේ නිෂ්පාදනය අඩු වූ නිසා පොහොර අවශ්‍යතාව ඉහළ ගියා. ඒ අනුව පොහොර සැපයීමේ විශේෂ වැඩසටහනක් අප විසින් දියත් කරනු ලැබුවා.
ඒ අනුව සෑම කිලෝ ග්‍රෑම් 50ක පොහොර බෑගයක් සඳහා රුපියල් 2000ක සහනාධාරයක් යටතේ පොහොර ලබා දීමට කටයුතු කළා. මේ වන විට තේ පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් වගාකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණය ඉහත පාර්ශවකරුවන්ට අමතරව තේ කර්මාන්තශාලා හිමියන් සම්බන්ධ කරගනිමින් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම සමස්ථ තේ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා තේ වගාවේ පාළු සිටුවීම, නැවත වගාව සහ සෘජු වගාව හා සම්බන්ධ සහනාධාර ව්‍යාපෘතිය 2022 වසරේ සිට මේ දක්වා හෙක්ටයාර් 745ක ක්‍රියාත්මකයි. ඒ යටතේ රුපියල් මිලියන 140ක මුදලක් වගාකරුවන් 324 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන්කරමින් තේ පැල 800,000ක් සිටුවීම සදහා නව ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සෘජු තේ වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මේ සඳහා රුපියල් මිලියන 750ක් යොදාගැනීමට නියමිතයි.
මේ වනවිට පොල්කටු හා පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන ද පොල් මද ආශ්‍රිත නිෂ්පාදන තරමටම රටට විදේශ ආදායමක් ලබා දීමට හැකිවී තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 817 ක වාර්තාගත ආදායමක් පොල් ආශ්‍රිත අපනයනයන්ගෙන් ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ සුදු මැස්සා රෝගය නිසා පොල් නිෂ්පාදනයේ පහළ වැටීමක් සිදු වුවත් සුදුසු නියාමන හා පාලන ක්‍රියාමාර්ග උපයෝගී කරගෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආදායමක් රටට ගෙන දීමට අප සමත් වී තිබෙනවා. 2024 අප්‍රේල් මස වන විට ඇමරිකානු ඩොලර් මිලියන 263.06 ක් ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24 % ක වර්ධනයක් බව කිව යුතුයි.
2022 හා 2023 වසර දෙකෙහි වගා කර ඇති, නව රබර් වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර 921 ක් වන අතර, නැවත රබර් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 2743 ක් වනවා. 2024 වසරේ රබර් හෙක්ටයාර 1135 ක් වගා කිරීමට දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබෙනවා. ඉන් හෙක්ටයාර 605ක් නව වගාව ලෙසත් හෙක්ටයාර 415ක් නැවත වගාව ලෙසත් සිදු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 149 ක ප්‍රතිපාදන වගාව සඳහා අවශ්‍ය පැල ලබා දීමට වෙන්කොට තිබෙනවා. පෙර පැවති රබර් වගා සහනාධාර ක්‍රමය 2023 වසරේ සිට ක්‍රියාත්මක නොවන අතර, දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන්ට අවශ්‍ය පැල සහනාධාර ලෙස 2023 වසරේ සිට නොමිලේ ලබාදීම සිදුකරනු ලබනවා.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා,
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාව ඉරානයට ගෙවිය යුතු ඛනිජ තෙල් ණය තේ අපනයනය හරහා පියවීම පසුගිය අගෝස්තු 05 වෙනිදා ආරම්භ කළා.
එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් ඉරානය වෙත ඛනිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9ක මුදල තේ අපනයනය තුළින් පියවීමට අපේක්ෂිතයි. මේ වන විට එම ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා නිම කර තිබෙනවා. 2024 වසරේ පළමු මාස 04 තුළ නිමි තේ කිලෝ ග්‍රෑම් මිලියන 4.1ක ප්‍රමාණයක් ඉරානය වෙත අපනයනය කරන ලද අතර එය පසුගිය 2023 වසරේ පළමු මාස 04 තුළ ඉරානය වෙත අපනයනය කරන ලද නිමි තේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක වැඩිවීමක් බව කිව යුතුයි.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා,
පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදන වල නිෂ්පාදන පිරිවැය අඩු කර ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය, ප්‍රමාණාත්මකතාවය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම්, යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීම, මහා පරීමාණ කර්මාන්තශාලාවල පිරිවැය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා මුල්‍යය සහාය ලබා ගැනීම වැනි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ “ කප්රුක ජය ඉසුර” නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලබනවා. එමඟින් 6% සහන පොලියක් යටතේ එක් කර්මාන්තකරුවෙකු වෙත රු. ලක්ෂ 35 ක උපරිම ණය මුදලක් ලබාදෙන අතර එම ණය මුදල රුපියල් ලක්ෂ 100 ක උපරිමයක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පසුගිය දෙවසර සලකා බැලීමේදී 2022 වර්ෂය තුළ රුපියල් මිලියන 53.4 ක පමණ මුදලක් සහ 2023 වර්ෂය තුළ රුපියල් මිලියන 35.7 ක පමණ මුදලක් මේ හරහා ලබා දී තිබෙනවා.
ඒ වගේම 2024 වර්ෂය සඳහා.පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් 752 ප්‍රමාණයක් නිෂ්පාදන 1012 ක් සඳහා ලියාපදිංචි කරගෙන ඇති අතර 636 ප්‍රමාණයක් පොල් ආශ්‍රිත අපනයනකරුවන් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.
තවද පොල් හා තැඹිලි නිෂ්පාදනයට ඉහළ බලපෑමක් ඇති කළ සුදු මැස්සා වසංගතය මැඩපැවැත්වීම සඳහා දියත්කරන ලද සුදු මැස්සා මර්දන වැඩසටහන 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වෙනවා. රෝග හා පළිබෝධ හානිය මගින් පොල් අස්වැන්නට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් මේ වනවිට ගස් 1,051,323 ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇති අතර දැනුවත් කිරීම් වැඩසටහන් 3,046ක් පවත්වා තිබෙනවා. එසේම වගාකරුවන් අතර දියර ඉසින යන්ත්‍ර 700 ක ප්‍රමාණයක්ද බෙදා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රුපියල් මිලියන 85.50 ක් වැය කර තිබෙනවා.
ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රදේශවලින් බැහැරව උතුරු පළාත තුළද පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට කටයුතු කළා.
පාරිභෝජන සහ අපනයන පොල් අවශ්‍යතාවයන් සපයා ගැනීමත් උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් එහි අරමුණු වුණා. මේ වන විට පොල් පැල 489,077ක් මෙම ව්‍යාපෘතියට යොදවා තිබෙනවා.
ඊට අමතරව කිතුල් හා තල් නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කරමින් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ගොඩනැගීම ද සිදු කෙරෙනවා.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සී මුහන්දිරම් මහතා,
2024 වසර තුළ සාම්ප්‍රදායික ලෙස රබර් වගා කර නොතිබූ ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහන ලෙස, මොනරාගල, අම්පාර හා බදුල්ල යන ප්‍රදේශවල හෙක්ටයාර 115ක රබර් නව වගාව ස්ථාපනය කිරීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 18 ක්. මෙම රබර් නව වගා මඟින් දේශීය රබර් නිෂ්පාදනය 86,825 Kg කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.
ඒ වගේම එම ප්‍රදේශ සඳහා සුදුසු ක්ලෝන හඳුනාගැනීම සඳහා රබර් පර්යේෂණායතනය විසින් ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 19.25ක් ඇස්තමේන්තුගත කර තිබෙන අතර මේ වන විට රුපියල් මිලියන 17.74ක මුදලක් වැය කර තිබෙනවා.
මෙමඟින් පවතින ක්ලෝන 14ක් පරීක්ෂාකර අවසන් අතර, ඉදිරියේදී තවත් ක්ලෝන 22ක් පරීක්ෂා කිරීමට නියමිතයි. අවසානයේදී අන්තර්වාර නිර්දේශ යටතේ ක්ලෝන 10ක් පමණ නිර්දේශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
2025 ජනවාරි 01 දින සිට යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී, එම නිෂ්පාදන ‘වන විනාශයට’ දායක නොවු නිෂ්පාදන ලෙස තහවුරු කිරීම සිදුකළ යුතු අතර එසේ තහවුරු කළ නොහැකි නිෂ්පාදන අපනයනය සඳහා අනුමැතිය ලැබෙන්නේ නැහැ.ඒ අනුව අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන EUDR සඳහා අනුගත බවට, සහතික වීමේ වගකීම පැවරී තිබෙනවා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකරනු ලබනවා. ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායමෙන් 1/3 කට වඩා වැඩි දායකත්වයක් දරනු ලබන්නේ යුරෝපානු වෙළඳපොළ වන බැවින්, එම රෙගුලාසිය සඳහා අනුගත වීම ඉතා වැදගත් වෙනවා.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. ජේ. කේ ලින්දර මහතා,
කුරුඳු වගාව සංවර්ධනය කිරීම සඳහා පසුගියදා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළා. එය සිදු කළේ 2023 වසරේ අයවැයි යෝජනාවක් ලෙසයි.
ඒ යටතේ ජාත්‍යන්තර වෙළදපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය මූලික අරමුණ කොටගෙන ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමට ආසන්නයේ මූලස්ථානය පිහිටුවා කටයුතු ආරම්භ කර තිබෙනවා. කුරුඳු අපනයනකරුවන් , කුරුඳු වගා කරුවන්, කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පාර්ශවකරුවන් මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත ප්‍රතිලාභීන් වනවා.
මෙම Cinnamon Gate ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත මුදල රු.224,909,704.31 වන අතර 2024.05.31 දින වන විට ඉන් රු. 21,857,211.80 ක මුදලක් වියදම්කර තිබෙනවා.
කුරුඳු නිෂ්පාදනයේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණ වගා ක්‍රම භාවිතා කරමින් අක්කරයකට ලැබෙන කුරුඳු අස්වැන්න වැඩිදියුණු කිරීම, කුරුඳු කර්මාන්තයේ පසු අස්වනු තාක්ෂණය වැඩිදියුණු කිරීම, අගය වැඩිකල නිෂ්පාදන සහිත කර්මාන්ත ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඉලක්ක කරගෙන කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ මැයි මස සිට ලංකා සත්‍ය කුරුඳු නඟා සිටුවීම සඳහා වන බහුදිශා ප්‍රවේශය නම් ව්‍යපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 35ක් වනවා. මෙමඟින් කුරුඳු වගාව බහුලව සිදු කරන ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල කුරුඳු වගාව සඳහා විභවයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඉලක්ක කරගනිමින් කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සෘජු ප්‍රතිලාභීන් 1050ක් පමණ සහ වක්‍ර ප්‍රතිලාභීන් 101,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිදුකල චීන සංචාරයේදී ශ්‍රී ලංකාවේ සත්‍ය කුරුඳු චීනයට අපනයනය කර දේශීය කුරුඳු කර්මාන්තය උදෙසා නව වෙළදපොළක් විවෘත කර දීම හා එමඟින් කුරුඳු සඳහා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීම අරමුණු කරගෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඒ අනුව චීනයට සත්‍ය කුරුඳු අපනයනය සඳහා නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එහිදී තෝරාගනු ලබන කුරුඳු අපනයනකරුවන් සහ කුරුඳු ගොවීන් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන පාර්ශවකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඇස්තමේන්තුගත මුදල රුපියල් 1,000,000.00 ක් පමණ වනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්. කේ. ඩබ්ලිව් රන්කෙත්කුඹුර මහතා,
අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදන හා අපනයන ධාරිතාවය ඉහළ නංවා වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඔ, උතුරු මැද හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලබනවා.
මේ යටතේ අපනයන කෘෂි බෝගවන කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, සාදික්කා, කරාඹු, කරඳමුංගු , වැනිලා, කහ, ඉඟුරු, පුවක්, බුලත්, ගොරකා, පැඟිරි හා සේර යන බෝග වර්ග 15 ක වගා සංවර්ධනය සිදු කරන ලද අතර, මේ වන විට කුරුඳු බෝගය හැර ඉතිරි බෝග 14 කට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
නව වගා වැඩසටහන, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන, ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන, පුවක් වගා වැඩසටහන, බෝග අගය දාම සංවර්ධන වැඩසටහන, කහ සහ ඉඟුරු වගා වැඩසටහන මෙන්ම මාර්ගගත පුහුණු වැඩසටහන් මඟින් අපනයන කෘෂි බෝග වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ද අප කටයුතු කරනවා. 2024 වසරේ මේ දක්වා ගොවි පුහුණු වැඩසටහන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අප විසින් පවත්වා තිබෙනවා.