නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් ඇති කර ගැනීම අපගේ අරමුණයි

    ජූලි 13, 2024

    වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය.

    මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස අවබෝධ කර ගනිමින් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සමස්ත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් සිදුවනු ඇති බව අප විශ්වාසය කරනවා. විශේෂයෙන් රැකියා වෙළඳපොල ඉලක්ක කර කොරියානු, ජර්මන්, ප්‍රංශ, හින්දි, චීන හා ජපන් භාෂා ගුරුවරුන් පන්සියයකට වැඩි සංඛ්‍යාවක් බඳවා ගෙන මේ වන විට පාසැල්වලට යොමු කර තිබෙනවා.

    ඊට අමතරව මෙරට තිබෙන විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම විශ්වවිද්‍යාල තුළින් වසර 04කට පසු උපාධිධාරී ගුරුවරුන් බිහිවෙනවා. මේ වන විට වසරකට විද්‍යාපීඨවලට බඳවා ගනු ලබන 5000ක් පමණ සිසුන් සංඛ්‍යාව 7500 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව සෑම වසරකම ගුරු උපාධිධාරීන් 7500ක් බිහි වනු ඇතියි. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසැල් තුළ පහසුකම් තව දුරටත් වැඩි කිරීමට කටයුතු කරන අතර ඔවුන් වෙනුවෙන් පුහුණු ගුරුවරුන් ද පත් කර තිබෙනවා.

    ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාල 120 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. තවද මෙතෙක් ලබා නොදුන් ගුරු පත්වීම් මෙන්ම තුන්වන ශ්‍රේණියේ විදුහල්පති පත්වීම් ද අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරී පත්වීම් ලබා දීමද මේ වන විට සිදු කෙරෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ සඳහා යොමු වී තිබෙන බව කිව යුතුයි.

    ඒ අතරේ පසුගිය දිනවල ගුරුවරු අසනීප වුණා. ගුරු සේවය කියන්නේ මේ රටේ අනාගත පරම්පරාව බිහි කරන ක්ෂේත්‍රයක්. ඔවුන්ට අනෙක් අයට වඩා ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පාසැල් තුළ මුදල් එකතු කිරීම නීති විරෝධි බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබෙනවා. දෙමව්පියන්ගේ පාර්ශ්වයෙන්ද මේ සඳහා සහාය ලබා දිය යුතුයි.

    කෙසේ වුවත් මේ වර්ජන කිරීම් දිගින් දිගට සිදු කළ හොත් එම වෘත්තීය සමිතිවලට විශාල හානියක් වන බව මේ වනවිට ඔවුන් වටහා ගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් විවිධ කතා කිව්වත් සත්‍යය වන්නේ ඔවුන් ගත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක බවයි.

    මීට අමතරව මේ වනවිට කඳුකරයේ කම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වී තිබෙනවා.ඔවුන්ගේ දෛනික වේතනය රුපියල් 1700.00 දක්වා වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන් අධිකරණයට ගොස් තිබෙනවා. මීට පෙර වැටුප් වැඩි කළ අවස්ථාවේත් ඔවුන් මේ ආකාරයෙන්ම අධිකරණයට ගියත් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ ආකාරයටම මෙවරත් මේ වැටුප් වැඩිකිරීම ඒ ආකාරයටම ලබා දෙන ලෙස අධිකරණය තීන්දුවක් ලබා දෙනු ඇති කියා වෘත්තීය සමිති ලෙස අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. පෞද්ගලික අංශයේ වැටුප් ද වැඩි වී තිබෙනවා . අද ලෝකයේ සෑම රටකම ජීවන වියදම වැඩි වී තිබෙනවා. විශේෂයෙන් කොරෝනා වසංගතයෙන් පසු ඇති වූ ජාත්‍යන්තර ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වුනා . අපේ රටත් ඊට මුහුණ දුන්නා.

    නමුත් වසර දෙකකට පෙර තිබු තත්ත්වය දැන් වෙනස් වී තිබෙනවා .ආර්ථිකය ස්ථාවර වීම හේතුවෙන් අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා. අද අපේ රටවැසියන් එදාට වඩා සතුටින් සිටින බව කිව යුතුයි.

    මේ තත්ත්වය යටතේ ජනතාව නිවැරැදිව කල්පනා කර තීන්දු තීරණ ගන්නවා නම් ඉදිරි ජනාධිපතිවරණයේදී රට අගාධයෙන් මුදාගෙන රට බේරාගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වැඩපිළවෙල ඉදිරියටත් කර ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බව මගේ ස්ථාවරයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya