නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය

    ජූලි 10, 2024

     කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපති හා පකිස්ථාන මහකොමසාරිස්වරයා  සමග කළ සාකච්ඡාවල දී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළ බවත්,මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය දෙරටම  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇති බවත්  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම අප රටට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

    අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින්ගෙන් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරී ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් ගවයෙකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතී.

    මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින්  ලබන වසරේ දී කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබේ. එම ඉළක්කය ජයගැනීම සඳහා මේ වනවිට පියවර රැසක් රජය විසින් ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කරනු ලැබීය.

    මෙරට පකිස්ථානු මහ කොමසාරිස්  Major General Faheem Ul Aziz මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කළේය.

    එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්‍යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කළේය.

    එමනිසා පකිස්ථානය ද මේ සම්බන්ධව සහයෝගය පළ කරනු ඇතැයි රජය වශයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීම සළකා බලමින්  පකිස්ථාන රජය විසින් ද ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පාකිස්ථානු මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

    මෙම සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය. මෙම ගවයින් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන එළගවයින් හා මීගවයින් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya