තේ අස්වැන්න වැඩි කර ගැනීමට තිබෙන බාධාව වනුයේ පොහොර බවත් පොහොර මිල ඉහළ යාමත් සමඟ තේ ගොවීන් පොහොර භාවිතය අඩු වීම නිසා අස්වැන්න අඩු වී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
තේ වගාව සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
අධි තාක්ෂණය, අධි ඝනත්වය යටතේ තේ වගා කිරීමට පියවර ගන්නා බවත් මේ ක්‍රමයන්ට අනුව දැනට ලැබෙනවා වගේ තේ අස්වැන්න තුන් ගුණයකින් ඉහළ නංවා ගත හැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
තේ අස්වැන්න වැඩි කර ගත හැකි තාක්ෂණය රට තුළ තිබෙන්නේ යැයි ද, අදාළ තාක්ෂණය ප්‍රවර්ධනය සඳහා තේ මණ්ඩලයේ ඇති අරමුදලෙන් මුදල් ලබාදී අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය .
තේ ක්ෂේත්‍රයේ දැනට ඇති වී තිබෙන පසුබෑම ඉදිරි මාස 3 ක් වැනි කාලයක් තුළ යථා තත්ත්වයට පත් වීමට කටයුතු කරන බවත් ඉදිරි වසරක් දෙකක් ගත වන විට පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.
ඒ සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් වෙන් කර ඇතැයි ද ඇමැතිවරයා කීය.
රට පුරා ඉඩම් හෙක්ටයාර 269,875.24 ක තේ වගා කර ඇති බවත් ලෝක තේ වෙළඳපොළේ සිව්වැනි අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.