නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංකොලොත්භාවයෙන් පස්සේ ලංකාව ලෝකෙන් ණය අරගෙන නෑ - විපක්ෂය කරන්නේ ජනතාව මුලාවේ දැමීමක් - ඇමති මනූෂ නානායක්කාර

    ජූලි 06, 2024
    රට බංකොලොත්භාවයට මුහුණ දීමෙන් අනතුරුව වර්තමානයේදී කිසිදු රටකින් ශ්‍රී ලංකාව ණය ගෙන නොමැති බවත් ඒ බව අවබෝධයෙන් රටේ ණය වැඩි වී ඇති බව පවසන විපක්ෂය කරන්නේ ජනතාව මුලාවේ දැමීමක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (05) මාතරදී පැවසීය. 
    ඩොලර් හැටියට ණය නිර්වචනය කිරීමේදී එහි අගය ඉහළ පහළ යන අතර ඒ පිළිබඳව අවබෝධය ඇතිව විපක්ෂයේ දේශපාලන්ඥයින් මෙසේ කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ මාතර ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගනයේදී පැවති 'ජයගමු ශ්‍රී ලංකා' මාතර දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමිනි. 
    "ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා 'අපි බංකොලොත්භාවයට පත්වුණාට පස්සේ අපි කිසිම රටකින් ණය අරගෙන නැහැ.' කියලා. හැබැයි ණය වැඩි වුණා කියලා සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒ අපේ ගත්තු ණය ඩොලර් වලින් සඳහන් කරලා තිබුණහම අපේ ණය එහාට මෙහාට යනවා ඒක නොදන්නව නෙවේ. ජනතාව මුලාවේ දැමීම සඳහා මේ රැවටීම සිද්ධ කරනවා." යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
     
    "මාතර දිස්ත්‍රික්කය ඓතිහාසික පුරවරයක්. බොහෝ පුරවරයන් ඓතිහාසිකත්වය ළඟා කර ගන්නේ රජ කාලෙ කාරණා එක්ක. මාතරට තියෙන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හැම පාලනයක් එක්ක සම්බන්ධ වුණ සුවිශේෂ ඉතිහාසයක් මාතරට තියෙනවා. ගාල්ල අපිත් අල්ලපු දිස්ත්‍රික්කයේ ජනතාව. පෘතුගීසින් බලය ආරක්ෂා කරගන්න හදනකොට හක්මනත් බලකොටුවක් වුණා. 
    මාතර තාරකා කොටුව ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වෙද්දී ඉතිහාසයේ හක්මන කොටුව, කටුවන කොටුව වගේ බලකොටු හැදිලා ඉතිහාසයට ශක්තියක් එකතු කළා. මාතර ගැන කියද්දී ගංගාරෝහණ වර්ණාවත් මතක් කරන්න ඕන. අපේ කිවිඳුන් බිහි කරන්න, ලංකාවට බුද්ධිමතුන් බිහි කරන්න, ශූර වෙළෙන්දන් බිහි කරන්න, ලෝකයේ කොහේ ගියත් මාතර බත් කඩ හැදෙන තරමට සුවිශේෂී දක්ෂතා තියෙන සුවිශේෂී හැකියාවන් තියෙන පළාතක් තමයි මාතර. බෙන්තර ගඟෙන් එහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියන්නේ මාතර අයගේ දක්ෂතාව නිසයි. 
    ගාල්ලේ අපිටත් වඩා මාතර අය දක්ෂයි, කාර්යක්ෂමයි, සූක්ෂමයි කියලා තමයි කතාවටත් අපි කියන්නේ. මාතර මෑත ඉතිහාසය බැලුවාම නම් ලස්සන ඉතිහාසයකට උරුමකම් කියන්නේ නෑ. යටියන පැත්තෙන් එනකොට තිබිච්ච උලු ෆැක්ට්‍රියට මොකද වුණේ කියලා මතක් වෙන්නේ. ඒක ගිනි තියලා දාලා තිබුණේ ජනතාව විමුක්ති පෙරමුණ. මෙහි හිටිය ප්‍රසිද්ධ පඬිරුවනක් වන වැල්තොට පඤ්ඤාසීහ හාමුදුරුවෝ මරලා දැම්මා ජනතා විමුක්ති පෙරමුණෙන්. 
    මේ පළාතේ ජේවීපී එකෙන් ඝාතනය නොවෙච්ච ගෙදරක ලුණු කැටයක් හොයන්න කිව්වොත් ලුණු ඇට හතර පහයි හොයාගන්න වෙන්නේ මුළු ගමකින්ම. ඒ තරමටම ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත ලේ වලින් නාවපු පළාතක්. මේ පළාත්වල කෲර ලෙස මිනිසුන් හන්දි හන්දි ගානේ මැරුණා. ඒ බිලි ගත්තු දේශපාලනය, ගමට ඇවිල්ල නඩුව අහපු ක්‍රමවේදය අනුව තමයි මගේ තාත්තත් මරලා දැම්මේ. දැනුත් අපිට ඇහෙනවා ගමට ඇවිල්ලා ආයිත් නඩු අහන්න ලෑස්තියි කියලා කියනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ඇහුව මන්දපෝෂණය තියෙන එක හොඳයිද නරකයිද, ඒක සුබද අසුබද කියලා ඇහුවා. මේ දරුවන්ට මන්ද පෝෂණය ඇති නොවෙන්න තමයි දරුවන්ගේ අම්මල තාත්තලා පිටරට ගිහිල්ල සල්ලි එවන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ දරුවන්ට ආදරේ නිසා තමයි අස්වැසුම දෙන්නේ, සහල් ටික දෙන්නේ. ඒ අසුබකම නැති කරලා, සුබ කරලා කරන්න අන්න ඒ වෙනස තමයි අපි රටක් හැටියට ඇති කරන්න අපි උත්සාහ කරන්නේ. 
    රටේ ණය වැඩි වෙලා කියලා පහුගිය දවස්වල මාධ්‍යවල දැක්ක අපි. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා අපි බංකොලොත් භාවයට පත්වුණාට පස්සේ අපි කිසිම රටකින් ණය අරගෙන නැහැ කියලා. හැබැයි ණය වැඩි වුණා කියලා සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. එහෙම වෙන්නේ ගත්තු ණය ඩොලර්වලින් සඳහන් කරලා තිබුණම ණය එහාට මෙහාට යනවා. මේ අය ඒක නොදන්නව නෙවේ. ජනතාව මුලාවේ දැමීම සඳහා මේ රැවටීම සිද්ධ කරනවා. අපේ දරුවන්ගේ අම්මලා තාත්තලා පිටරට ඉඳලා සල්ලි එවනකොට ඒ වෙලාවෙත් කිව්වා සල්ලි වන්න එපා රාජපක්ෂල හොරකම් කරයි කියලා. 
    රට වට්ටන්න ඕන කමට රටේ තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික, කෑම බීම, ලයිට් නැති කරන්න ඕනකමට, එහෙම කරලා අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඕනේ තරමට, ඒකට විරුද්ධව මිනිස්සු පාරට බැහැලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන තැනට ගේන්න ඕන නිසා ඩොලර් ටික එවන්න එපා කියලා ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා. නමුත්, අම්මල තාත්තලා ඒක විශ්වාස කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට, රටට, රටේ මිනිස්සුන්ට ආදරය නිසා මේ රටට ඩොලර් බිලියන 12ක් එව්වා. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න, ටික නැවත හොයාගන්න පුළුවන් වුණේ. ගෑස්, තෙල් ටික කංචන විජේසේකර ඇමතිතුමාට ගේන්න පුළුවන් වුණේ. විදුලිය ඇති කරන්න දැවි තෙල් ටික ගේන්න පුළුවන් වුණේ. 
    බලාපොරොත්තු වුණේ විදේශගත ශ්‍රමිකයෝ සල්ලි එවන එක නවත්තලා, අපේ කර්මාන්තශාලා දුවන්න සල්ලි නැහැ, එතනින් කඩාගෙන වට්ටලා, එයින් මිනිස්සු අතරේ ඇති වන පීඩනය පාරට ගෙනල්ලා, අරගලේ - මිලේච්ඡ අරගලයක් බවට පත් කරලා, පාරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා දාලා පාර්ලිමේන්තුවත් ගිනි තියලා ආයෙත් ගමේ තිබ්බ බලය අතට අරගෙන තමන්ට ඕන විදියට බලය පාවිච්චි කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි ඕන වුණේ. හැබැයි ජනාධිපතිතුමා ගත්ත තීන්දු තීරණත් එක්ක විදේශගත ශ්‍රමිකයන් සල්ලි නිසා අපේ රට නැවතත් ශක්තිමත් කරන්න පුළුවන් වුණා. 
    ලංකාවේ ඇතුලේ පාර්ලිමේන්තුවේ ජීවිතය අහිමි වෙච්ච මන්ත්‍රීවරයා අයිති වෙන්නෙත් මාතරට. 88-89දි පාර්ලිමේන්තුවට බෝම්බයක් ගසමින් පාර්ලිමේන්තුව විනාශ කරන්න උත්සාහ කරපු පළවෙනි අවස්ථාව. කීර්ති අබේවික්‍රම මැතිතුමා එයින් ජීවිතක්ෂයකට පත් වුණා. ප්‍රේමදාස මහත්තයලා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලා නූලෙන් බේරුණා. මේ රටට මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දීපු ලලිත් ඇතුලත්මුදලි මහත්මයා මාස ගාණක් ඉස්පිරිතාලෙ හිටියා. අද මාසික දීමනාව කොහොමද හම්බෙන්නෙවත් කියලා දන්නේ නැති විශ්ව විද්‍යාලයේ අරගල කරන, නවක වධය දෙන තරුණයෝ, එරංගලා වගේ අය දන්නේ නැහැ මහපොළ ලබා දීපු ඇතුලත්මුදලිලා මරන්න බෝම්බ ගැහුවේ ජනතාව විමුක්ති පෙරමුණේ කණ්ඩායම තමයි කියලා. 
    මේ රට දියුණු කරන වැඩපිළිවෙළේදි කොරියාව අපිට ලොකු උදාහරණයක් ගන්න තියෙන රටක්. 88-89 කාලයේ ජවිපෙ බෝම්බ ගහලා මේ රට විනාශ කරන කොට කොරියාව තිබුණේ මුඩුක්කු රාජ්‍යයක් විදිහට. ඒ කාලේ කොරියා කියලා පටන් ගන්න 'සී' අකුර තිබුණේ. ඉස්සර ජපානෙ ලිවීමේදී පටන් ගන්න 'ජේ' අකුරට කලින් 'සී' අකුර තියෙන නිසා 'කේ' අකුර යොදලා කොරියාවේ නමත් වෙනස් කළා. එහෙම ලොකු පීඩනයක තිබුණේ. කඩාගෙන වැටුණු රටක්. ඒ අවුරුද්දේ අයිඑම්එෆ් එකට ගිහිල්ලා අද වෙනකොට සැම්සුන්, ඩේව් දැවැන්ත ව්‍යාපාර රැසක හයිය එක්ක බිලියන ගාණක ආර්ථිකයකට හිමිකම් කියන රටක් බවට කොරියාවට පත්වෙන්න පුළුවන් වුණා. 
    ඒ කාලේ මිනිස්සු රස්සාවල් හොයාගෙන පිටරටට ගියා. ඩුබායි ගියා. සෞදියට ගියා, ගෘහ සේවයට ගියා. එහෙම ගිය අය මුදල් අරගෙන දැනුමත් අරගෙන යළි තමන්ගේ රටට ආවා. ඒ විගමනික ශ්‍රමිකයෝ තමන්ගේ රටේ ආර්ථිකය හදන්න උදව් වුණා. ඒ රටේ හිටපු ජනාධිපති රෝ ටේ වූ ජනාධිපතිතුමා රටේ ප්‍රගතියට ඕන කරන නීතිරීති ටික ශක්තිමත් කරලා දුන්නා. 
    ඩොලර් බිලියන 670ක් අපනයන ආදායම. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. මේක අපි කණගාටුවෙන් කල්පනා කරලා කතා කරනවා. කාගේ සාපයද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. සමහරු කියනවා මේක 75 වසරක සාපය කියලා. ඔව් 75 වසරක සාපයක් තිබුණා. මේ රට ගොඩ නගන්න නොදුන්නු, 88 ඉඳලා රට ගිනි තියපු, විනාශ කරපු දේවල් ගොඩනගන්න වුණා විතරක් නෙවෙයි රට ගොඩනගන්න හදපු හැම වෙලාවකම, 77 විවෘත ආර්ථිකය ගෙනාපු, ජූලි වර්ජනයේ ඉඳලා නොයෙක් වෙලාවට වර්ජනය කළා. 
    මේ රට ගොඩ නගන්න හදපු හැම වෙලාවකම විරෝධතා ඉදිරිපත් කළා. ඒ කොරියාවේ නම් මේ වගේ වර්ජනය කරන්න දීලා රට ආපස්සට යන්න ඉඩ දුන්නේ නෑ. මෙහෙ දොස්තරලා, හෙදියෝ එක එක වෙලාවට කරන වර්ජන විතරක් නෙමෙයි, පාසල් අධ්‍යාපනයත් කඩාකප්පල් කරන්න අද ගුරුවරුත් පාසල් අධ්‍යාපනයත් දරුවන්ගේ සංවර්ධනයත් නතර කරන තත්ත්වයට පත්කරලා තියෙනවා. ළ්ණ්ඝ්, නොරොච්චෝලේ බලාගාර එනකොට ඒ ටික කරන්න දීලා තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කරන්ට් කපන්න වෙන්නේ නෑ. උමා ඔය, කොත්මලේ ඉහළ කොත්මලේ හදන්න හදනකොට විරුද්ධ වුණා. 
    මේ හැම විදියකටම විරුද්ධ වෙලා තමයි අපේ රට ඉස්සරහට ගෙනියන්න ඉඩ නොදුන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, වගේ හැම සංවර්ධන ව්‍යාපෘතියක් එනකොටම විරුද්ධ වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති වෙලා ඉන්නකොට මොනෑශ් විශ්ව විද්‍යාලය ලංකාවට ඇවිල්ලා මෙහෙ පිහිටවන්න හැදුවට ඒ වෙලාවේ ඒකට ඉඩ දුන්නේ නෑ, පෞද්ගලික අධ්‍යාපනය ඇති කරන්න ඉඩ දෙන්න බෑ කියලා. ඒ විශ්ව විද්‍යාලය ගියා මැලේසියාවට අද එක විශ්ව විද්‍යාලයක් නෙමේ, කලාපයේම අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියට මැලේසියාව පත්වුණා. ආදායම ඩොලර් බිලියන ගාණක් මාසෙට ගන්න පුළුවන් වුණා. 
    අපේ ණය ප්‍රමාණය වගේ දහ පහළොස් ගුණයක් මැලේසියාව අධ්‍යාපනය හරහා ලෝකයේ දරුවෝ එතැනට ගිහිල්ලා ඉගෙන ගන්නවා. අපේ දරුවොත් එතනට ගිහිල්ලා අද සල්ලි වියදම් කරනවා. එහෙම කියාගෙන ගියොත් ලැයිස්තුවක් කියන්න පුළුවන්, මේ රට ගොඩ නගන්න නොදී ආපස්සට ඇදපු හැටි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික දැන් දිරාගෙන යනවා. අද කංචන විජේසේකර මැතිතුමාලා ඒ ව්‍යාපෘති පටන් ගන්නවා කියලා කොන්ද පණ තියාගෙන බය නැතිව දකුණෙකම තියාගෙන ඉන්නවා. ඒක බ්‍රිතාන්‍ය සමාගමකට දෙන්න හැදුවේ නිදහස හම්බ වෙලා ටික දවසකට පස්සේ. හැබැයි ඒකට විරුද්ධ වුණා වෘත්තීය සමිති. අපේ සම්පත් කියලා තියාගෙන ඉඳලා, දැන් ඒවා බර ගාණක් දිරාගෙන යනකල් ඉන්න වුණා. 
    අද සිංගප්පූරුව කරන තෙල් වෙළඳාමේ ප්‍රධාන මර්මස්ථානය. ඒ ව්‍යාපෘතියට පයින් ගැහුවේ ඔය කිව්ව ආර්ථික ඝාතකයෝ. උන් තමයි මේ රට ඉස්සරහට ගෙනියන්නට ඉඩ දුන් නැති කණ්ඩායම්. කණ්ඩලම හෝටලය හදද්දිති එහෙමයි. කොළඹ වරාය ඉස්සර තිබුණු ගෝනි මලු වෙනුවට කන්ටේනර් ගෙනැවිත් වෙනස් කරන්න යනකොට අපේ කට්ටිය වර්ජනය කරන්න ගත්තා 'ධනපති වැඩපිළිවෙළක් තමයි මේ කන්ටේනර්' කියලා. කම්කරුවන්ගේ රස්සාවට ගහන්න තමයි කන්ටේනර් පෙට්ටි හදන්නේ කියලා කොළඹ වරායේ උද්ඝෝෂණ පටන් ගත්තා. සිංගප්පූරු වරාය විවෘත කරන දවසේ ලී ක්වාන් යූ ලංකාවේ ඔබට ස්තුතියි කියලා තමයි ඒක පටන් ගත්තේ. රට ඉස්සරහට යන්න දෙන්නැති මේ පාපිෂ්ඨ කණ්ඩායමයි ආර්ථික ඝාතකයෝ. මේ රටේ 75 වසරක සාපය. 
    මෙතනින් එහාට ගෙනියන්න තමයි, මේ රටේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න තමයි බය නොවන තීන්දු අරගෙන, රටට සුදුසු තීන්දු අරගෙන, ඉස්සරහට යන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද එකතු වෙලා ඉන්නේ. හිරි ගල් දූපතක් වුණු හොංකොං, බොන්න වතුර නැති වෙච්ච සිංගප්පූරුව දියුණු වුණේ සෘජු ප්‍රතිපත්ති, බය නැති ප්‍රතිපත්ති, උද්ඝෝෂණ කරනකොට ඡන්ද අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලන තීන්දු ගත්තු නිසා. ඒ තීන්දු අරගන්න ඉස්සරහට ගෙනියන්නයි අපිට ඕන කරන්නේ. උද්ඝෝෂණ කරනවට, කෑගහනවට බයේ තීන්දු නොගෙන හිටියොත් රටක් විදියට අපිට ඉස්සරහට යන්න බැහැ. එතකොට සුබ දේ මොකක්ද අසුබ දේ මොකක්ද කියලා කල්පනා කරන්න සිද්ධ වෙනවා. අනාගතයට කළ යුත්තේ මොකක්ද කියලා කල්පනා කරන්න සිද්ධ වෙනවා. අනාගතයට සිද්ධ වෙන්නේ මොකක්ද, රටේ අනාගතය නොවැටී තියා ගන්න සිදු කළ යුත්තේ මොකක්ද කියලා සියලු දෙනාට එකතු වෙලා තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා.
    මගෙන් පටන් ගමු කියලා පටන් ගත් ජනාධිපතිතුමා එතුමගෙන් පටන් ගත්තා හරි දේ කරන්න, නිවැරදි කරන්න. වාසිද අවාසිද කියලා, දේශපාලනය කොච්චර අභියෝගයක්ද කියලා, ජීවිතයට කොච්චර අවදානමක් තියෙනවද කියලා, තමන්ගේ දේශපාලනයට කොච්චර අභියෝගයක් ඇතිද කියලා බලන්නේ නැතුව ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා. ඇමති මණ්ඩලය විදිහට අපේ ඒ අභියෝගය බාරගෙන පටන්ගත්තා. ආණ්ඩුකාරතුමන්ලා විදිහට එහි අභියෝගය භාර ගත්තා. රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරු, දිසාපතිතුමන්ලා ඒ අභියෝගය භාරගත්තා. රට වෙනස් කරන අභියෝගය අවුරුදු දෙකක් තුළ මේ රට මෙතනට ගෙනෙන්න්න රාජ්‍ය නිලධාරීන් කරපු කැපවීම අප්‍රමාණයි අසීමිතයි. ඒ සියලු දෙනා මගෙන් පටන් ගමු කියලා කැපවීම පටන් ගත්තා නිවැරදි කරන්න. අපි මාතර සියලු දෙනාට ආරාධනා කරන්නේ ජයගමු ශ්‍රී ලංකා කියන්නේ යථාර්ථයක් සිහිනයක් නෙවෙයි, මේ රට ජයග්‍රහණය කරන්න පුළුවන්." යැයි අමාත්‍යවරයා පැවසීය. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුශ්පකුමාර, දකුණු පළාත් සභා ආණ්ඩුකාරවර ලක්ෂමන් යාපා අබේවර්ධන වෙනුවට ඔසඳ යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට අතිරේක ලේකම් මුදිතා පද්මජායි, කමකරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම්.කේ. මැදිවක, අමාත්‍යවරයාගේ උපදේශක පද්මිණී රත්නායක, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya