ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා

    ජූලි 05, 2024

    රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙනකු දවස් 65 ක් පුරා නිරත වැඩ වර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.

    2019 වසරේ කොවිඩ් වසංගතයත්, 2020 වසරේ ආර්ථික අර්බුදයත්, 2021 අරගලයත් හමුවේ මානසිකව වඩාත් පීඩාවට පත් මේ දරුවන් ඒ සියලු අභියෝග හමුවේ විශ්වවිද්‍යාලයට තේරී පත් වන 18% අතරට එක් වුනත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ව තව දුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්වීම ජාතික ඛේදවාචකයක් බව කිව යුතුයි.

    මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා ‍මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කණගාටුයි. ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවුයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සළකා බලා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා.

    ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ( FUTA) එළි බැස තිබෙනවා. 2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කර ගත් ඔවුන්, අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා. විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්‍රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩ නගා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.

    අනධ්‍යන සේවකයින් ගේ මෙම ඉල්ලීම් සාධාරණයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී උදය සෙනවිරත්න කමිටුවට යොමු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරහා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව මා පොරොන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා කිරීමට අප කටයුතු කරනවා. සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya