නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " සුවසැරිය රෝහල් සේවා" බස් රථ සේවාව ආරම්භ කෙරේ

    ජූලි 05, 2024

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන " සුවසැරිය රෝහල් සේවා" බස් රථ සේවාව ආරම්භ කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.


    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් මාකුඹුර සිට මහරගම, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, තලවතුගොඩ, බොරැල්ල හරහා පිටකොටුව දක්වා දෛනිකව මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වනු ඇති. මීට සමගාමීව එම මාර්ගයේම පිටකොටුව සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හරහා මාකුඹුර දක්වා තවත් බස් රථයක් ධාවනය වීමට නියමිත වේ.
     මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
    " ශ්‍රී ලංකාවේ ජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් අසීමිත සේවාවක් සිදු කරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩල, ඔවුන්ට කොතරම් ගැටලු පැවතුණත් කිසිදු අවස්ථාවක වර්ජන උද්ඝෝෂණ ආදී විරෝධතාව ව්‍යාපාරවලට එක් නොවෙමින් මෙම සේවාව අඛණ්ඩව සැපයීම සඳහා විශාල වෙහෙසක් දරනු ලබනවා.
     ජාතිය සතු සුවිශාල සම්පතක් වන ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි මට්ටමේ විශාල අලාභයක් දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා කිරීම හේතුවෙන්, පහසුකම් ලබාදීම ඇතුළු කටයුතුවලට බාධාවන් විශාල ප්‍රමාණයක් පැන නැගුණා. සුවිශාල කැපවීමකින් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකු සිය රාජකාරිය අවංකව ඉටු කළත් ඉතාම සුළුතර පිරිසක් සිදුකරන වංචනික ක්‍රියා හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් ආයතනයට අහිමිව යනවා. මෙලෙස වාර්ෂිකව අහිමිවන අති දැවැන්ත මුදලද ආයතනයේ ආදායමට එක්වනවා නම් මේ තුළින් මීටත් වඩා ඉහළ සේවාවක් සිදු කළ හැකියි.
     මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිසු සැරිය සේවාව ඔස්සේ බස් රථ 1500ක් පමණ ගාස්තුවෙන් අඩක් අයකරමින් ධාවනයේ යොදවා තිබෙනවා. ඒ සඳහා වාර්ෂිකව රජය ලබාදෙන සහනාධාරය රුපියල් මිලියන 2000ක් පමණ වනවා. රටේ අනාගතය බාරගන්නා සිසු පරපුර වෙනුවෙන් තවත් බස් රථ පන්සියයක් සිසු සැරිය සේවාවට එක් කර ගැනීම සඳහා පසුගිය සතියේ මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
     ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නව සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා රෝහලෙහි පවතින සම්පූර්ණ ධාරිතාවය උපයෝජනය කර ගැනීම සඳහා ජනතාව රෝහල වෙත ළඟාවීමට පවතින ප්‍රවාහන දුෂ්කරතා විශේෂයෙන් බලපාන බව අප වෙත පෙන්වා දුන්නා. පිටකොටුව ඇතුළු ප්‍රදේශවල සිට පොදු මගී ප්‍රවාහන බස් රථ සේවාවක් නොමැතිවීම ඒ සඳහා ප්‍රධානම හේතුවක්. ඒ හේතුවෙන් ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් පුද්ගලික වාහන වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රෝගී ජනතාවට සිදුවනවා. මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සිසු සැරිය සේවාව හා සමානව රෝගීන් වෙනුවෙන් සේවාව සැලසීමට සුව සැරිය බස් රථ සේවාවක් ලබාදීමට අප සැලසුම් කළා. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට හැකියාව ලැබුණු මෙම බස් රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වනවා.
    ආර්ථික ශාස්ත්‍රය, කළමනාකරණය සහ මූල්‍ය පිළිබඳ මා සතු දැනුමට අනුව මෙවැනි ආයතනයක අලෙවිකරණය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ඉතාමත් දියුණු මට්ටමේ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා පෞද්ගලික අංශය මගින් අය කරන මුදලට වඩා ඉතාමත් අඩු පිරිවැයකින් මෙම රෝහල තුළ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි සේවාවන් පිළිබඳව  දැනුවත් කිරීම සහ කළමනාකරණය, අලෙවිකරණය තුළින් ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලිය මගින් එළඹෙන සතියේ සිට සෑම දිනකම මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වෙලාවක් වෙන් කර තිබෙනවා.
    මෙම නව ප්‍රවාහන සේවාවත් සමඟ ජනතාවට ඉතා උසස් මට්ටමේ විශිෂ්ටතම සේවාවක් ලබාදෙන ප්‍රධානතම රෝහලක් බවට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල තව දුරටත් වර්ධනය වනු ඇති බව මා විශ්වාස කරනවා."
     මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහිපාල මහතා, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, රෝහල් අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින්, ලංකා ගමනාගමන මණ්ඩලයේ විධායක නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya