ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීමට රුපියල් බිලියන 02ක මුදලක් වෙන් කෙරේ

    ජූලි 02, 2024
    ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සඳහා රුපියල් බිලියන 02ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල සිටින දිරිය කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට මූල්‍යාධාරයක් ලබාදීමට මේ මඟින් කටයුතු යොදා ඇති බව හෙතෙම කියා සිටියේය.
    ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගිත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බව ගුණවර්ධන මහතා කීවේය.
    2022 වර්ෂයේදී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව, ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වන අතර, එමඟින් ආර්ථික සහභාගිත්වයේ ස්ත්‍රී පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව හෙතෙම පැවැසීය.
    සීමිත මූල්‍ය සාක්ෂරතාව සහ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දේපළ හෝ වෙනත් ඇප හිමිකමක් කාන්තාවන්ට නොමැති වීම ආදී මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා අවම වීම යන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධක ලෙස හඳුනා ගනු ලැබ ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.
    එබැවින්, 2024-02-26 දිනැති ඇමැති මණ්ඩල තීරණය පරිදි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 20ක ප්‍රතිපාදනවලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
    දිරිය කාන්තාවන් විශාල පිරිසක් ලෝකයේ හැම රටකම ව්‍යවසායක කේෂ්ත්‍රයේ ඉදිරියට ගමන් කර තිබෙනවා. සමහරවිට ඉතා කුඩා විදියට ආරම්භ කළ ව්‍යාපාර දැවැන්ත ව්‍යාපාර බවට පරිවර්තනය කරගත්ත දිරිය ව්‍යවසායක කාන්තාවන් ඉන්නවා. නමුත් අපේ රටේ ව්‍යවසායකත්වය පිළිබඳව සිංගප්පූරුව, මැලේසියාව හා ඉන්දියාව වැනි රටවල් සමඟ සාපේක්ෂව ගත්තම ව්‍යවසායකත්වයේ අඩු තත්ත්වයක් තිබෙන්නේ. අනාගතය පිළිබඳ අවධානමක් අරගෙන මේ සම්පත් හොදින් කළමනාකරණය කරලා යම් කිසි අභිමතාර්ථයක් මුදුන් පමුණුවා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ව්‍යවසායකයන් හිඟතාවයක් අපේ රටේ තියෙනවා. දිරිය කාන්තාවන් විශාල වශයෙන් සුළු හා මධ්‍ය පරිමානක ව්‍යවසායකත්ව කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ විවිධ කෘෂි, කාර්මික, සම් භාණ්ඩ, රෙදිපිළි වැනි නිෂ්පාදන වල විවිධ කේෂ්ත්‍රවල යෙදෙන කාන්තාවන් ඉන්නවා. පසුගිය ආර්ථික අර්බුදය තුළ ඔවුන් වඩා පීඩාවට පත් උනා. මොවුන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ප්‍රාග්ධනය ප්‍රශ්නයි. තමන්ට අවශ්‍ය වානිජ බැංකු වලින් ණය ගැනීම සඳහා අවශ්‍ය ඇප සුරකුම්පත් ඉදිරිපත් කරන්න අපහසුයි. තමන් සතුව තිබෙන කුසළතාවය, දක්ෂතාවය නිර්මාණාත්මක හැකියාව වානිජ බැංකු විසින් ඇපකරයකට බාර ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට පිළිබඳවත් ව්‍යාපාර තවදුරටත් පුළුවල් කිරීම පිළිබඳවත් විශාල මූල්‍ය ගැටලුවක් තිබෙන නිසා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිළි කරා තියෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එවැනි ව්‍යවසායක කාන්තාවන් හඳුනාගෙන ඔවුන්ට මූල්‍යාධාරයක් සැපයීම සඳහා රුපියල් බිලියන 02ක් මේ වර්ෂය සඳහා වෙන් කරනව කියන එක. කඩිනමින් කාන්තාවන් තෝරාගෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරයා වෙන්නේ ඒ පළාතේ ඉන්න මන්ත්‍රීවරයෙක් හෝ දේශපාලන අධිකාරිය. කැඳවුම්කරු ලෙස ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා. ප්‍රාදේශීය ලේකම්කාර්යාලය තුළ සිටිනවා සංවර්ධන, කෘෂි, ග්‍රාම නිලධාරීන් මෙන්ම ව්‍යවසායකත්වය ගැන කටයුතු කරන වෙනම නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගෙන් වඩා සුදුසු කාන්තාවන් නිර්දේශ කරලා ඔවුන්ට මූල්‍යාධාර සැපයීම සඳහා මේ වසරේ දී බිලියන 02ක මුදලක් වෙන් කරා. මෙය කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා වැදගත් වන යෝජනාවක් ලෙස අනුමැතිය ලැබුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya