ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීමට සිතීම සිහිනයක් පමණයි – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 02, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එබැවින් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහාය අවශ්‍ය කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ(01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය,

    විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ විවාදයක් ජූලි මස 02 සහ 03 යන දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. පසුගිය කාලයේ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත තිබුණේ නැහැ. රට ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා. සමාජය මුළුමණින්ම වෛරය මුසු සමාජයක් බවට පත්ව රටම ගිනිබත් වූ අරගල ක්‍රියාමාර්ගයකට ගියා.

    එදා කිසිවකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක, අග්‍රාමාත්‍යවරයකු වශයෙන් මෙන්ම පරිණත දේශපාලනඥයකු ලෙස අත්දැකීම් සම්භාරයක් සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය භාරගෙන රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවා. එතුමා පළමුවෙන්ම සිදු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් විස්තීර්ණ ණය ගිවිසුමකට එළැඹීමයි. එය සාර්ථක කර ගැනීමට එතුමා විශාල ප්‍රයත්නයක් දැරුවා. එසේම මීට පෙර රටක් වශයෙන් අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය නිසා මෙවර එහි ණය පහසුකම ලබා ගැනීමට පෞද්ගලිකවම ඉතාම වෙහෙසකර කාර්යභාරයක නිරත වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිදු වුණා.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2027 වසර වන තෙක් විස්තීර්ණ ණය ගිවිසුමකට ඇතුළත් වීමට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම් ප්‍රකාරව තමයි අපේ රටට හුස්ම වැටීම ආරම්භ වුණේ.

    සියලු දේවල් අතින් ස්වයංපෝෂිත නොවූ රටක් විදිහට අප අනිවාර්යයෙන්ම විදේශ රටවල්වලින් භාණ්ඩ ආනයනය කරන්න අවශ්‍යයි. දේශපාලන වශයෙන් කවුරු නායකයා වුවත්, ජාත්‍යන්තර පිළිගැනීම නොමැති නම් ගනුදෙනු පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. එවැනි ගනුදෙනු සිදුවිය යුත්තේ ද ලෝක සම්මතයන්ට අනුව පමණයි. විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුමට අනුව 2027 වසර වන තෙක් ණය ගිවිසුමකට එළැඹීමට හැකි වූ නිසා වාර්ෂිකව භාණ්ඩ ආනයනය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

    තව මාස කිහිපයකින් 2025 වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතුව තිබෙනවා. ඒ අයවැය ලේඛනය සම්මත වුවහොත් පමණයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු දිළිඳු ජන කොටස්වලට දීමනා ලැබෙන්නේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව 2027 වසර වන තෙක් අයවැය ලේඛනයක් සකස් කරන්න බැහැ.

    එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2025 වසර අයවැය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා දෙනවා. අයවැය සඳහා සහායක් වශයෙන් ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලබා දෙනවා. අයවැය ලේඛනය සකස් කරන අවස්ථාවේදී ණය සහන වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3655ක් ලැබෙයි කියා විශ්වාස කරනවා. මේ විදිහට තමයි ලබන වසරට අදාළ අයවැය ලේඛනය සකස් කළ යුතු වන්නේ. කවුරු ආණ්ඩු කළත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවන්න මුදල් අවශ්‍යයි. මේ ක්‍රමය හැරෙන්න අයවැය වෙනුවෙන් මුදල් ලබා ගන්න වෙනත් ක්‍රමයක් නැහැ.

    මේ ණය සහන පුරෝකථන පමණයි. මේ පුරෝකථනය 2027 වසරටත් එලෙසින්ම සකස් කර තිබෙනවා. නමුත් උදාහරණයක් ලෙස 2027 වසර වන විට විශාල අයවැය පරතරයක් ඇති නොවුණත්, ඇමරිකානු ඩොලර් මිලියන 3911ක හිඟතාවයක් ඇති වන බවට පුරෝකථනය කර තිබෙනවා. එහිදී විස්තීර්ණ ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් 629ක්, අයවැය ලේඛනය සකස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක්, ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ද වශයෙන් ලබාදීමට නියමිතව තිබෙනවා. 2027 වසරේ අයවැය ලේඛනය සකස් කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හිඟයක් ඇති වෙනවා.

    ඒ හිඟය පියවන්න අපට ජාත්‍යන්තර වෙළෙඳ පොළට යන්න වෙනවා. මේ දවස්වල කවුරු ආණ්ඩු කළත් ලෝකයේ කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ගන්නේ නැහැ. අපට බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ 2027 වසරේදී පමණයි.

    එසේ ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ ද 2027 වසර වන විට අපේ රට සතුව ඇමරිකානු ඩොලර් බිලියන 14ක විදෙස් සංචිතයක් පැවතිය හොත් පමණයි. දැනට අප සතුව පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක සංචිතයක් පමණයි. කෙසේ නමුත් මේ සෑම වසරකටම අදාළව අප නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

    රාජ්‍ය තන්ත්‍රය මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරවාරයේ ජනාධිපතිතුමා විදෙස් රටවල් සමඟ එකඟතා ඇති කර ගනිමින් සිටිනවා. මේ කිසිම ගිවිසුමක්, වැඩපිළිවෙළක් සඟවා නැහැ. ජනාධිපතිතුමා සියලුම තොරතුරු පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ පසුබිමේ මේ සකස් කළ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බැහැ. මේ ආර්ථික වැඩපිළිවෙළින් පරිබාහිරව කවුරුන් හෝ ආණ්ඩු කිරීමට සිහින මවන්නේ නම් රට යළිත් කඩාවැටීම වළක්වාගත නොහැකි බව පැවසිය යුතුයි.

    එනිසා මේ රටට ආදරය කරන, නූපන් දරු පරපුරට ජාතියක් ලෙස නැඟී සිටිමින් සංවර්ධිත රටක ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මේ එකඟ වී තිබෙන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රටක් ලෙස සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ඒ වගේම විස්තීර්ණ ණය පහසුකමට අදාළව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස ඉතිහාසගත වන බවද කිව යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya