ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පැය 03කට වරක්ම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට අනතුරු වලින් දිවි අහිමි වෙනවා - ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග

    ජූලි 01, 2024

    සෑම පැය 03කට වරක්ම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට අනතුරු හේතුවෙන් දිවි අහිමි වන බවද, මෙරට අනතුරු හේතුවෙන් දිනකට 32 – 35 අතර ප්‍රමාණයක් මිය යන බවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

    ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා මේ බව පැවසුවේ  අදින් ඇරඹෙන 09 වන ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    සෑම වර්ෂයකම ජූලි මස පළමු සඳුදා සිට සිකුරාදා දක්වා ජාතික අනතුරු නිවාරණ සතිය ප්‍රකාශයට පත් කරන බව පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා මෙවර 09 වන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට සිකුරාදා දක්වා පැවැත්වෙන බවද සිහිපත් කළේය.

    ලංකාවේ රජයේ රෝහල් වලට වැඩිපුරම නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ අනතුරු හේතුවෙන් බවද එම ප්‍රමාණය දළ වශයෙන් අවුරුද්දකට මිලියනයකට වැඩි බවද පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා මීට අමතරව බහුතරයක් බාහිර රෝගී අංශ වලින් සහ පුද්ගලික ආයතන වලින් අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන බවද පැවසුවේය.

    විෂ ශරීරගතවීම්, සර්ප විෂ සහ කැඩුම් බිදුම් ආදී අනතුරු වලදී බහුතරයක් බටහිර නොවන ප්‍රතිකාර සදහා යොමු වන බවද සදහන් කළේය. තවත් පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු වූවද අතබෙහෙත් කරමින් නිවෙස් වල පසුවන බවද පැවසුවේය.

    ලංකාවේ සෑම පුද්ගලයන් 05 දෙනෙකුගෙන් හෝ 06 දෙනෙකුගෙන් එක්කනෛකුම සෑම වසරකම වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු ආකාරයේ අනතුරක් සිදුකරගන්නා බව පැවසූ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා අනතුරු හේතුවෙන් වසරකට මරණ 10,000ක් 12,000ක් පමණ සිදුවන බවද පැවසුවේය.

    අනතුරු සහ ඒ නිසා සිදුවන මරණ 2019 තෙක් වැඩි වූ බවද ඉන්පසු කොවිඩ් අධි වසංගත තත්ත්වය පැමිණීමත් සමග මෙම ප්‍රවණතාවයෙහි යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වූ බවද සදහන් කළේය.

    ආර්ථිකයට වැඩි වශයෙන් උදවු වෙන ඵලදායී වයස් කාණ්ඩයේ එනම් අවුරුදු 15 – 44 අයගේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව සහ මරණ වලට හේතුව අනතුරු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම අනතුරු හේතුවෙන් පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමට රජයේ රෝහල් වලට බිලියන ගණන් වැය වන බවද සදහන් කළේය.

    ප්‍රධාන වශයෙන් වැඩි සංඛ්‍යාවක් රථවාහන අනතුරු සිදු වුවද, වැටීම්, දියේ ගිලීම්, පිළිස්සීම්, සතුන් සපාකෑම, සර්ප දෂ්ටනය ආදී අනතුරුද වාර්තා වන බව පැවසුවේය. අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේ නිවෙස් වල බවද අනතුරු හේතුවෙන් රෝහල්ගත වන හෝ බාහිර රෝගී අංශ වලින් ප්‍රතිකාර සදහා යොමු වන අයගෙන් 50%කට වැඩි පිරිසක් නිවෙස් වල සිදුවූ අනතුරු වලට මුහුණපා ඇතැයිද සදහන් කළේය.

    මීට අමතරව 25%ක් පමණ මාර්ග අනතුරු වාර්තා වන බවද, 10%ක් පමණ සේවා ස්ථාන වලදී සිදුවන අනතුරු බවද සදහන් කළ වෛද්‍යවරයා අනතුරු නිවාරණ සතියේ දින 05 තුළ මෙම සෑම අංශයක් සම්බන්ධයෙන්ම එක් එක් දිනවලදී දැනුවත්කිරීම් සිදුකරන බවද පැවසුවේය.

    එනම් මාර්ග අනතුරු, වෘත්තීය සෞඛ්‍ය, ගෘහාශ්‍රිතව, වැඩිහිටි නිවාස වල, පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල සිදුවිය හැකි ඇනතුරු මෙන්ම දියේ ගිලීම් සම්බන්ධව මෙහිදී විහේෂයෙන් අවධාරණය කරන බවද පැහැදිලි කළේය.

    මෙවර 09 වන ජාතික අනතුරු නිවාරණ සතියේ අපේක්ෂාව අනතුරු අවම කරන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya