ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු

    ජූනි 30, 2024

    අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

    “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

    ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට – පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.

    ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

    මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. එදා අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරු සියලුදෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවද, නැතිනම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අපි වරායට පැමිණ තිබෙනවා. අපි දැන් මේ නැවට මොකද කරන්නේ? අපි නැව ඉදිරි වසර 50-100ට සිරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයෙකුට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි.

    අද මම මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙම මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ මෙම කඹුරුපිටියේ ප්‍රදේශයේ. මම නැවති සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝළිමක් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් එම පෝළිම්වල දුක් විඳිනවා මම දුටුවා. එදා මම තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මම ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා. ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර එම පිණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනිමට සිදු වුණා.

    මම එලෙස රට භාර ගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුවයි. සියලුදෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලුදෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා.

    මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සසියලු දෙනා කිව්වේ , මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා.

    මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසෙන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා.

    ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සසහායක් ලබා දුන්නා. අපේ රටට සංචාරකයන් පැමණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා.

    රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක‍ඟව තිබෙනවා. ඒ අනුව අපිට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. නමුත් අප එම තීරණය ගත්තා. ඒ නිසා අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේ දී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ.

    මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා.

    ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හො‍ඳින් තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා.සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    අපි මේ වැඩ කරද්දි කෑ ගැහුවේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් මෙම සහන ලබාදි තිබෙනවා. අපි ඉදිරියට ගමන් කළයුතුයි. මේ වන විට අප බංකොළාත්භාවයෙන් ඉවත් වි සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. එහිදී සහන ලබාගෙන තිබෙනවා.

    අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවීමට කාලය ලබාදීමට ඔවුන් එකඟවී සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය ලබාදී තිබෙනවා. ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ලබාගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා.

    මෙම එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින් පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

    ඒ අනුව මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා. දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මුල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මම දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

    ඒ වගේම අප මෙය පිළිගන්නවාද, නැද්ද කියලා ලෝකය දැන ගැනීමට කැමතියි. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියා, ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීමට මම සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබාදීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු.

    නමුත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගනු ලබන තිරණය අපේ අනාගතයට බලපානවා. අපි මෙයින් ඉවත් වුණහොත් ඉදිරියට යන්නේ කෙසේද. මෙම වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවද. නැවත පෝළිම් යුගයකට යන්න පුළුවන්ද, එනිසා අපි මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අපි ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි.

    අපි අනාගතයේ දී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද, නැවත ණය ගැනීමට අවශ්‍යද, අපි අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගියහොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප රට අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි මේ තීරණ ගන්නේ ඔබ සියලුදෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි.

    අපි රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයෙකුටම කියන්නේ ඒ නිසයි. මේ ඇමති මණ්ඩලය මොන පක්ෂයට ද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමතිකම් නැති වුණා. නමුත් ඔවුනට දැනට එය ලබාදීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් එම සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා.

    මෙතන සෑම පක්ෂයක්ම නියෝජනය කරන පිරිස සිටිනවා. අපට එක පක්ෂයක් නැහැ. අද සියලුදෙනා රට වෙනුවෙන් එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශපාලන පක්ෂක් නියෝජනය කළද රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් මෙහි සිටිනවා. අප මෙම දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා පක්ෂ බේදයෙන් තොරව අප සියලුදෙනා ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.

    මම විපක්ෂයට ආරාධනා කරනවා අපත් සමඟ එක් වෙන්න කියලා. අපි මෙම අලුත් මාර්ගයේ යමු. කොහොමද රට ගොඩනගන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙන ගත හැකියි. අපි සියලුදෙනා එක්වී මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගැනිමට කැපවෙමු.

    අපට අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදිරියට යාමයි. මේ රටේ ජනතාව විඳි දුක ගැන මම කණගාටුවෙනවා. අපි ගත් පියවර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යමු කියා මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

    ‘එක්ව ජයගමු’ මහජන රැළි මාලාවේ, පලමු රැළිය, ” එක්ව ජයගමු – අපි මාතර ” විදිහට මාතර දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ කර තිබෙනවා. මීට වසර දෙකකට පෙර, රටේ පැවති ආර්ථික අර්බුදය නිසා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එම තනතුරෙන් ඉවත් වෙලා, අපිත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා, පොදුජන පෙරමුණ ලෙස ආර්ථික අර්බුදයට මුහුණ දිය හැකි ඕනෑම නායකයෙකුට සහාය දක්වනවා කියද්දී, අද රට බාර ගන්න කෑගහන බොහෝ නායකයන් පලා ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ එම අර්බුදයෙන් රට බේරා ගැනීමේ අභියෝගය බාර ගත්තා. පොදු ජන පෙරමුණ ලෙස අප කොන්දේසි විරහිතව එතුමාට සහයෝගය දැක්වුවා.

    යහපාලන ආණ්ඩු කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මහින්ද සුළඟ ගෙනල්ලා ආණ්ඩුවක් සකස් කළ ප්‍රසන්න රණතුංග වගේ කෙනෙක් , මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. මීට වසර දෙකක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට වෙනුවෙන් සිදු කළ කාර්යභාරය ඔබ සියලු දෙනා අත්දැක්කා. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන නිවැරදි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. තවම ආර්ථික ප්‍රශ්න විසඳී නැහැ . මේ අර්බුදයෙන් රට මුදා ගැනීමට නම් අත්දැකීම් තිබෙන අභියෝග බාර ගත හැකි නායකයෙක් අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා යි. තවම එතුමා ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශ කර නැහැ. නමුත් මේ ජන රැළි මාලාව මඟින් ජනතාව එතුමාව ඉල්ලා සිටිනවා කියන එක මට විශ්වාසයි.

    දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,

    ආණ්ඩුවක් පැවතීමට නම් ජනතාවගේ ආර්ථිකය, ජීවනෝපාය ගැන සිතිය යුතුයි. එසේ කරන්න බැරිනම් ආණ්ඩුවකට පැවැත්මක් නැහැ. මීට වසර දෙකකට පෙර අපේ රටේ තෙල්, ඖෂධ, ගෑස්, කිරිපිටි තිබුණේ නැහැ. ඒවා මිලදී ගැනීමට ඩොලර් තිබුණේ නැහැ. මෙවන් තත්ත්වයක් ඇති නොවීමට නම් රජයක් ආර්ථිකය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය කර ගත යුතුයි.

    වසර 75ක ඉතිහාසය තුළ සෑම රජයක්ම සංවර්ධන කටයුතු සිදුකර තිබෙනවා. පසුගිය පැවති රජයට ජනතාව 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නා. නමුත් ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි වූ නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා. හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව අරගල ඇතිවුණා.

    එතුමා සිය ධූරයෙන් ඉවත් වන විට අද තැන් තැන්වල විවිධ කතා කියන අයටත් වගකීම බාරගන්න කියලා ආරාධනා කළා. නමුත් ඒ අවස්ථාවේ කොන්දේසි විරහිතව රටේ නායකත්වය බාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

    රටේ ආර්ථිකය වගේම ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි. කවුරු මොන දේ කිව්වත් මේ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ වැරදුනහොත් වසරක් යාමට පෙර යළිත් රටේ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි වෙනවා. ඒ නිසා අප සියලු දෙනා නැවත වරක් ගිලෙන්නේ නැතිව එක්ව ඉදිරියට යා යුතු වෙනවා. ඒ සඳහා පළපුරුදු, දැක්මක් තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා,

    මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.

    නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්‍රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා. එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා,

    පසුගිය කාලයේ රුපියල පාලනයකින් තොරව අවප්‍රමාණය වුණා. ඒ හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගියා. රට පුරා ගෑස්, තෙල් පෝලිම් ඇතිවුණා. රට සම්පූර්ණයෙන්ම ඇණහිටියා කිව්වොත් නිවැරදියි.

    එවන් තත්ත්වයක් හමුවේ එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ඉදිරියට ගෙන යාමේ අභියෝගය භාරගත්තා. එහිදී රටේ අනාගතය වෙනුවෙන් යම් යම් අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගනු ලැබුවා. මේ රටේ පැවැති බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. ජාතන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන වැටුණු තැනින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවා.

    වත්මන් රජය රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවය ඉටු කිරීමට පියවර ගෙන තිබෙනවා. කොහොම වුනත් ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා සෘජු නායකත්වයක් අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අද කටයුතු කරන්නේ පළමුව මේ රටේ ආර්ථිකය කඩනමින් සකස් කිරීමට බව කිව යුතුයි. ඒ සඳහා සහාය දැක්වීමට මෙසේ පෙළ ගැසීම මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අගය කළ යුතුයි.

    සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

    ශ්‍රී ලංකාව කියන නැව මුහුදේ කුණාටුවකට හසුවී බේර ගන්න කිසිම කපිතාන් කෙනෙක් ඉදිරිපත් නොවූ වෙලාවෙදි , රනිල් වික්‍රමසිංහ කියන කපිතාන්වරයාට ඒ නැව බාරගෙන නිරුපද්‍රිතව වරායට ගෙන ඒමට හැකි වුණා. දැන් මේ තියෙන්නේ ඉදිරි වසර පහ සඳහා නැවත මුහුදට දියත් කිරීමේ වෙලාවයි. එම නැවේ කපිතාන් තනතුර නැවත රනිල් වික්‍රමසිංහ මහතාටම ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් ඔබ බලාගෙන සිටිනවා .

    ඉදිරියට තිබෙන වසර පහ දීලා බලමු සංකල්පයෙන් ඔබලාගේ ඡන්දය භාවිතා කළහොත් මේ රට යළි විනාශවීම වළක්වන්න බැහැ . මේ රට බේරගන්න පුළුවන් නායකයත්, විනාශ කරන්න පුළුවන් නායකයත් තෝරා ගත හැක්කේ මේ රටේ ජනතාවට පමණයි . එම නිසා ජනතාව නිවැරදි වෙලාවෙදි නිවැරදි තීන්දු ගත යුතුයි. සමගි ජන බලවේගයට, ජාතික ජන බලවේගයට වෙන විකල්ප, ආදේශක නම් තියෙන්න පුළුවන්. නමුත් රටට වෙනත් විකල්ප නැහැ. එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එම නිසා ඉදිරි වසර 05 සඳහා රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමත් ඔබට බාරයි. අද මාතරින් ආරම්භ කළ ජනරැළිය ජයග්‍රහණයකින් කෙළවර කරමු.

    කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

    ඔබට මතක ඇති එදා අපේ රට වෙනුවෙන් ගත් ණය ගෙවා ගත නොහැකිව අසරණභාවයට පත්වුණා. අද ඒ රටේ ආර්ථිකය යහපත් මට්ටමකට ඇවිත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගාත්මක අවස්ථාවේ මේ රට බාර නොගත්තානම් අද රටේ තත්ත්වය සිතාගත නොහැකියි.

    රටේත් රටේ ජනතාවගේත් වාසනාවට එතුමා ඒ අභියෝගයට බයේ පැන ගියේ නැහැ. රටට නිවැරදි නායකත්වයක් ලැබුණේ ඒ නිසයි.අද රට පුරා පෝලිම් දකින්න නැත්තේ ඒ නිසයි. එදා ඉන්ධන , ඖෂධ , ගෑස් පෝලිම්වල පැය ගණන් ගත කළ හැකි ඔබට අමතක නැහැ. ඒ තත්ත්වය අමතක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම අප හොඳින්ම මතක තබා ගත යුත්තේ ඒ තත්ත්වය තුරන් කළේ කවුද කියන එකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට අපට අද මේ තත්ත්වයෙන් නැගිටින්න ලැබෙන්නේ නැති බව අමතක නොකළ යුතුයි.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කළා. දුක්විදි ජනතාව සුවපත් කිරීමට එතුමා කොන්දේසි විරහිතව කටයුතු කළා.

    එදා විදේශගත ශ්‍රමිකයන් විසින්, අවුරුද්දකට එවනු ලැබූ ඩොලර් මිලියන 220, වර්තමානය වන විට මාසයකට ඩොලර් මිලියන 700ක් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදා 73%ක්ව පැවති උද්ධමනය අද වන විට තනි ඉලක්කමට ගෙනවිත් තිබෙනවා. රුපියල් 4500/-ක්ව පැවති ගෑස් සිලින්ඩරය අද රුපියල් 2982/-ක් දක්වාත් , එදා රුපියල් 660/-ක් වූ පරිප්පු කිලෝව රුපියල් 360/- දක්වාත් අඩු වී තිබෙනවා .

    මේ පසුගිය වසර දෙක තුළ ආණ්ඩුවේ ශේෂ පත්‍රයයි. අද පෝලිම්වල ජනතාව මැරෙන්නෙ නැහැ. එදා බංකොලොත් රටක් වුවත් අද රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන තිබෙනවා. ඒ වගේම අසරණ ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබාදෙමින් ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් උරුමය ලබා දෙමින්, ජනතාව සුවපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙයක් කළා.

    යුද ජයග්‍රහණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව එකතු වී සහයෝගය ලබා දුන්නා. අද ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාටත් එවැනි සහයෝගයක් මේ ජනතාවගෙන් ලැබේවි . පසුගිය කාලයේ තිබුණු මැතිවරණ පැවැත්වූයේ ආගම හෝ රට බේරා ගැනීම වෙනුවෙන්. නමුත් මෙවර මැතිවරණය පවත්වන්නේ ඔබ ඔබව බේරා ගැනීම සඳහා යි. මෙවර ඔබ ගන්නා තීරණය වැරදුනොත් ඔබව බේරා ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා ආර්ථිකය නිවැරැදි දිශානතියකට ගෙන ගිය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත රට භාර දෙමු.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

    මෙම ස්ථානයට පැමිණ අපට ශක්තියක් ලබා දුන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පළමුවෙන්ම ගෞරවය පුදකර සිටිනවා. මාතර දිස්ත්‍රික්කය හැමදාම ඓතිහාසික තීන්දු තීරණ ගනු ලැබූ දිස්ත්‍රික්කයක්.

    පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

    ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.

    මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද , නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, කනක හේරත් විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, ප්‍රේමනාත්.සී.දොළවත්ත, වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ අතිවිශාල ජනතාවක් ජන හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya