ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF විස්තීරණ ණය ගිවිසුම් සහ විදේශීය ණය ප්‍රතිව්‍යුවහ ගතකරන ගිවිසුම් වලට එකඟ නොවන්නට රට බේරාගත නොහැක - ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    ජූනි 30, 2024

    2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට කිවුලතැන්න, තොලබෝතැන්න, අපොන්සුවත්ත මාර්ගය ජනතා අයිතියට පත්කිරීම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතාගේ ආරාධනයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු විය.


    දෛනිකව විශාල පිරිසක් ගමනාගමන අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරන මෙම මාර්ගයේ දීර්ඝ කාලයක් තුල කිසිඳු ප්‍රතිසංස්කරණයක්‌ සිදු නොවීම හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව අපහසුතාවයන් රැසකට මුහුණ දීමට සිදුවිය.
    මෙම තත්ත්වය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රම දායකත්වය යටතේ මාස 4ක පමණ කෙටි කාලයක් තුල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කරන ලදි.
    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    "ගමනාගමනය සඳහා ඉතාමත් අපහසු තත්ත්වයේ පවතින මංමාවත්, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් සංවර්ධනය ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටළු බොහොමයකට තනි තනිව විසඳුම් සොයා ගැනීමේ හැකියාවක් කිසිවෙකුටත් නැහැ. එම පොදු ගැටලු වලට ගැලපෙන විසඳුම් සලසා දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයන් බලයට පත් කරනු ලබනවා. එලෙස පත් කරන රජයන් රටේ සම්පත් දූරදර්ශී ලෙස කළමනාකරණය නොකළහොත් එයින් ඇතිවන ප්‍රතිඵලයට පසුගිය කාලය තුළ අපට මුහුණ දීමට සිදුවුණා. නිදහසින් පසුව අපේ රට එදිනෙදා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබූ රටක්. ඒ හේතුවෙන් සෑම රජයකටම විශාල වශයෙන් දේශීය සහ විදේශීය ණය ලබාගැනීමට සිදුවුණා. එයද ප්‍රමාණවත් නොවන විට මුදල් මුද්‍රණය කිරීමට සිදුවුණා.
    පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සියලුම බදු සහ බදු නොවන මාර්ගවලින් ලබාගත් ආදායම රුපියල් ට්‍රිලියන තුනයි.
    පසුගිය වසර තුළ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්, සමෘද්ධි අස්වැසුම ඇතුළු සහනාධාර, පොලී ගෙවීම් සඳහා ට්‍රිලියන 4.7ක් වැය වී තිබෙනවා. එලෙස දරා තිබෙන අමතර වියදම සිදුකර තිබෙන්නේ සෑම සතියකම ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කර ලබා ගන්නා ණය මුදල් මගින්.
    දේශපාලනඥයින් විසින් මෙම සැබෑ තත්ත්වයේ නිවැරදිව ජනතාවට පැහැදිලි නොකිරීම මත මෙම සරල සත්‍යය ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. පසුගිය දශක හතර පුරාවටම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදුකර තිබෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ණය මගින්. එම මුදල් ප්‍රමාණවත් නොවන විට මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කර තිබෙනවා. අවසානයේ ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට රට පත්වුණා. එලෙස මුහුණ දුන් මූල්‍ය අර්බුදයෙන් රට ගලවාගැනීම සඳහා විදේශීය විශේෂඥ ආයතනවල සහය ලබා ගැනීමටද සිදුවුණා. ඒ අනුව මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීම සඳහා ප්‍රංශයේ ලසාර්ඩ් සමාගමත්, නීතිමය කටයුතු කළමනාකරණය කිරීම සඳහා ක්ලිෆර්ඩ් හාන්සි සමාගමත් කටයුතු කරනු ලැබුවා. පසුගියදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ කතාවේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සහාය ලබාදීම පිළිබඳ එම ආයතනවලට විශේෂ ස්තුතියක්ද පිරිනමනු ලැබුවා.
    රට තුළ මෙවැනි අර්බුදයක් ඇතිවනු ඇති බව හඳුනාගත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඒ වෙනුවෙන් ලබාගැනීමට සැරසෙන අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඊට විරුද්ධත්වය පළ කළා.
    ඉන් අනතුරුව අභියෝග රාශියක් මාධ්‍යයේ රට බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් රට ගලවා ගැනීමට පවතින අවසන් අවස්ථාව ලෙස සලකමින් අවසන් ණය දෙන්නා වශයෙන් සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය ගිවිසුමකට එළඹුණා.2027 දක්වාම සියලු සංවර්ධන කටයුතු සිදු කෙරෙනු ලබන්නේ එම ණය ගිවිසුම යටතේ ලැබෙන ණය ආධාර අනුවයි. නැවත වතාවත් ණයවර ලිපියක් නිකුත් කිරීමට හැකි ආකාරයේ ජාත්‍යන්තර විශ්වාසයක් ඇති කරගෙන තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම අනුවයි. මීට පෙර දහසය වතාවක් මෙවැනි ගිවිසුම් අත්හැර දමා තිබෙනවා. මෙම ගිවිසුම අත්හැර ගිවිසුම් එකඟතාවයන් අතහැර දමා කවුරුන් රජයක බලය ලබා ගත්තත් සති දෙකක කාලයක්වත් එය පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. IMF විස්තීරණ ණය ගිවිසුම් එකඟතාවලට සහ විදේශීය ණය ගිවිසුම් වලට එකඟ නොවන්නට රට බේරා ගැනීමට හැකියාවක් නැහැ. මෙම එකඟතාවන්ට එළඹෙනු ලැබුවේ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙසයි. ඉන්දියාව, චීනය,ජපානය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබුවා. ඒ අනුව ඇති කරගත් එකඟතා අනුව පසුගිය සතියේ අත්සන් කරන ලද ගිවිසුමට අනුව දීර්ඝ කාලීන වශයෙන් ලබාගත් ණය ගෙවා අවසන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය හා ජනතාව වශයෙන් අනුගමනය කල යුතු මාර්ගෝපදේශන මාලාවක්‌, ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා. එලෙස එකඟ වූ කොන්දේසි කිසිදු හේතුවක් මත වෙනස් කිරීමේ හෝ අතහැර දැමීමේ හැකියාවක් නැහැ. එසේ වුවහොත් ලෝකය නැවත වතාවක් අපේ රට අත්හැර දමනවා. කිසිදු රටක සහාය හිමි වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ආධාරවලින් තොරව කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමේ හැකියාවක් නැහැ. මේ සත්‍යය තේරුම් නොගනිමින් සුරුට්ටු කඩයක් හෝ පවත්වාගෙන නොගිය පිරිසක් ආණ්ඩු බලය ඉල්ලා සිටියාට ඔවුන්ට රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ.ලෝකය යන දිශාව තේරුම් නොගනිමින් අපේ රට තුළ පවතින ලිං මැඩි මානසිකත්වය හේතුවෙන් රටට ප්‍රමාණවත් විදේශ ආයෝජන ලැබී නැහැ.
    ඉදිරියේදී ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ මහනුවර නගරය සුහුරු හරිත නගරයක් බවට පත් කිරීම සඳහා විදුලි බස් රථ දෙසීයක් ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. පසුගිය සතියේ ණය ගෙවීම පිළිබඳ ගිවිසුම් වලට එළඹුණු බැවින් ඒ පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට හැකි වනවා.
    ඉතාමත් නිවැරදිව රට නැවත ගොඩනැගීම සඳහා නිශ්චිත පැහැදිලි වැඩ පිළිවෙලක් සහිතව වඩා හොඳ රටක් හෙට දිනයේ ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා. රට පත්ව තිබෙන අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් සහිත මාර්ගයේ ගමන් කිරීමකින් තොරව කිසිදු විසඳුමක් මෙම ගැටලුවලට නැහැ. සිදුකරන ලද සාකච්ඡා සාර්ථක කර ගැනීමේ අනතුරුව නතර වී ඇති සියලු සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා."
    රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, පාත හේවාහැට හිටපු ප්‍රාදේශීය සභා සභාපති රණසිංහ යාපා බණ්ඩාර ඇතුළු හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍රන් විජේපාල මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya