ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය සඳහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිසාධනය සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් ද, තවත් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සඳහා මාසයකට රුපියල් 10,000බැගින් වන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ” ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
පාසල් රග්බි ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් වෙත රක්ෂණ ආවරණයක් පිරිනැමීමට ද රජය කටයුතු කර තිබෙන බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
වසර 75ක නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයෙකු ගත් පළමු පියවර ලෙස “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන පෙන්වාදිය හැකියි. පෙබරවාරි මාසයේදී ආරම්භ කළ මෙම වැඩසටහන මඟින් මේ වන විට 50,000කට වැඩි පිරිසකට සින්නක්කර ඔප්පු ලබාදීමට හැකි වී තිබෙනවා. උරුමය වැඩසටහන හරහා සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා .
නමුත් ජනතාව මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම පෙනෙන්නට තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ දීමනා පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී සින්නක්කර ඔප්පුවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා. ජනතාව මේ පිළිබඳ දැනුවත් කිරීමට මෙම සතියේ සිට ජංගම සේවයක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. එසේම බස් රථ යොදා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ජනතාව දැනුවත් කරමින් උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ වයඹ පළාත සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 12,000ක් සහ මාතර දිස්ත්‍රික්කයට සින්නක්කර ඔප්පු 12,000ක් ලබාදීමට අදාළ කටයුතු අවසන් කරමින් තිබෙන බවද සඳහන් කළ යුතුයි.
සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ කතා කළොත් මෙම වසර තුළ සංචාරකයින් 990,000කට වඩා මෙරටට පැමිණ තිබෙනවා. නිදහස් වීසා ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද නුදුරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරියට පත් කිරීමට නියමිතයි.
ඉන්පසු නිදහස් වීසා ලබාදීමේ ක්‍රමවේදයත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවක් ඇති කළ හැකියි. මේ වනවිටත් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් 05ක් ක්‍රියාත්මක කර තිබෙනවා. චීනය, ජපානය, ඉන්දියාව සහ යුරෝපය සඳහා වෙන වෙනම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. “must visit“ නමින් ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.
සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන් නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරට ගෙන ඒමට මේ වනවිට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් 33%ක් නැවත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙනවා. එම තත්ත්වය සංචාරක ක්ෂේත්‍රයට හොඳ ප්‍රවණතාවයක්. එම නිසා සමුද්‍රීය සංචාරක ක්ෂේත්‍රය නංවාලීමටද අවධානය යොමු කර තිබෙනවා. ඒ සමගම ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශ සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.
එසේම නව ක්‍රීඩා පනත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවන් 73ක් තිබෙනවා. ඒ සියලුම ක්‍රීඩාවන් සඳහා නව ක්‍රිකට් පනත වලංගු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විවිධ ප්‍රචාරකරමින් ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට සමහර කණ්ඩායම් කටයුතු කරමින් තිබෙනවා. මෙවර T20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනය විරෝධී කටයුත්තක් සිදු කළා කියා ඇතැමුන් චෝදනා කරනවා. එම චෝදනා ඔප්පු කළහොත් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට මා සූදානම්. මේ වන විට ක්‍රීඩාව දේශපාලනයෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. නව ක්‍රීඩා පනත හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටවත් කිසිඳු ක්‍රීඩා සංගමයක නිලයක් දැරීමට හැකියාවක් නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සිදු කරන කාර්යයක්. ඒ නිසා එම කටයුත්තට අප කිසිඳු මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලබාගෙන දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකියාව තිබෙන තවත් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා. ලෝක කුසලානයක් වැනි තරගාවලියක් එක රටක පැවැත්වීමට නම් දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 05ක් වත් එම රට තුළ තිබිය යුතුයි. තව එක් ක්‍රීඩාංගණයක් ඉදිකර ගැනීම තුළින් එම අවශ්‍යතාවය මෙරට තුළ සම්පූර්ණ වෙනවා. මේ සමඟ 2026 ක්‍රිකට් ලෝක කුසලානයේ තනි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
එය වගේම පාසල් රග්බි ක්‍රීඩකයන් 400 ක් රක්ෂණය කර එම දරුවන් රැකබලා ගැනීමට නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. ක්‍රීඩා ශක්ති වැඩසටහන මඟින් තෝරා ගත් ක්‍රීඩකයන් 850ක් සඳහා මසකට රුපියල් 10,000 බැගින් පෝෂණ දීමනාවක් ලබාදීමටද රජය කටයුතු කර තිබෙනවා. ඉහළ පරිසාධන දක්ෂතා දක්වා තිබෙන ක්‍රීඩකයන් හැට දෙනකු තෝරාගෙන මාසයකට රුපියල් 50,000ක් බැගින් ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා.
ඒ වගේම සුගතදාස ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ක්‍රිකට් ආයතනයට පවරාදී රුපියල් බිලියනයක් ලබාගෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිවයින පුරා තිබෙන ක්‍රීඩා සංකීර්ණ සුගතදාසය යටතට පවරා ගැනීමටත් ඉදිරියේදී නීති සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ලබන අගෝස්තු මාසයේදී සියලු ක්‍රීඩාවන් එක්කර ක්‍රීඩා සැණකෙළියක් පැවැත්වීමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටිනවා.
මේ සියලු දේවල් සිදු කරන්නේ රට බංකොලොත් භාවයෙන් මුදවාගෙන යම් ස්ථාවරයකට රට ගෙන ඒමත් සමඟයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙල මහඟු පිටුවහලක් වුණා. උරුමය වැඩසටහන, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ආර්ථික ස්ථාවර භාවය විශාල ලෙස බලපා තිබෙනවා. එම නිසා ඉදිරියේදී මැතිවරණ පැවැත්වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. එයට ජනතාව නිසි ආකාරයෙන් ඡන්දය භාවිතා කළහොත් ඉදිරි දශකය පූරවැසියාගේ දශකය බවට පත්වනු ඇති බවද සඳහන් කළ යුතුයි.