සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ ජීවනෝපාය කටයුතු සැලසුම් කර ගැනීමට ශ්‍රී ලංකා සාගර පුරෝකථන වෙබ් අඩවිය ඉමහත් ප්‍රයෝජනවත් - අගමැති

    ජූනි 22, 2024

    වායුගෝලීය තත්ත්වයන් ප්‍රකාශ කරන කාලගුණ අනාවැකිය මෙන්ම සාගර අනාවැකිය ද ශ්‍රී ලංකාව වැනි මුහුදෙන් වට වූ රාජ්‍යයකට වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා(18) කොළඹ අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා සාගර පුරෝකථන වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි.

    ඕස්ට්‍රේලියානු රජය විසින් වෙන් කරන ලද ප්‍රදානයක් හරහා බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මඟින් මෙම සාගර පුරෝකථන වෙබ් අඩවිය සපයන ලදී.

    ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් බොහෝමයක් රඳා පවතින්නේ ඉන්දියන් සාගරය මත බැවින් තරංග චලිතය, සාගර ධාරාව, උෂ්ණත්වය සහ ලවණතා ස්තරීකරණය අනුව සාගර තත්ත්‍වයන් පිළිබඳ නිවැරදි පුරෝකථනයක් ලබා ගැනීම වැදගත් වන බව අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි 2022 වසරේ දී මෙම ව්‍යාපෘතිය ඇරඹි බව සඳහන් කළ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් පැවසුවේ X-Press Pearl යාත්‍රා ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට සාගර අනාවැකි පද්ධතියක අවශ්‍යතාවය වඩාත් තහවුරු වූ බවයි. එම අවශ්‍යතාවය සපිරෙන මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවෙකු වීමට ඕස්ට්‍රේලියාවට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

    Sri Lanka Ocean Forecast වෙබ් අඩවිය දියත් කිරීම ඉතා වැදගත් කටයුත්තක්. එදිනෙදා ජීවිතයේ දී බොහෝ අය තම ජීවිතය සැලසුම් කර ගන්නේ කාලගුණ අනාවැකිය මතයි..

    වායු උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, වර්ෂාපතනය, සුළඟ වැනි අනාගත වායුගෝලීය තත්ත්වයන් විස්තර කරන කාලගුණ අනාවැකිය මෙන් ම, ශ්‍රී ලංකාව වැනි දූපත්-රාජ්‍යයකට සාගර අනාවැකිය අතිශයින් වැදගත් වෙනවා. අපගේ ආර්ථික කටයුතු දැඩි ලෙස රඳා පවතින්නේ ඉන්දියන් සාගරය මත බැවින් තරංග චලිතය, සාගර ධාරාව, උෂ්ණත්වය සහ ලවණතා ස්තරීකරණය අනුව සාගර තත්ත්වයන් පිළිබඳ නිවැරදි පුරෝකථනයක් ලබා ගැනීම අතිශය වැදගත් වෙනවා.

    නාවික ගමනාගමන, අනතුරට පත් යාත්‍රා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, වෙරළ සැලසුම් සහ කළමනාකරණය, පරිසර පද්ධති සංරක්ෂණය, මෙන්ම ආපදා අවම කරගැනීම ඇතුළු පුළුල් පරාසයක සාගර භාවිතා කරන්නන් ගේ සමුද්‍රීය ක්‍රියාකාරකම්වලට සහාය වීම සඳහා මෙන්ම යෙදවුම් මෙවලම් සහ සේවාවන් තවදුරටත් දියුණු කිරීමට සාගර පුරෝකථන තොරතුරු භාවිත කළ හැකි යි.

    සාගර නිරීක්ෂණ, දත්ත රැස් කිරීම සහ උකහාගැනීම, ආකෘති සංවර්ධනය සහ වලංගුකරණය, සුපිරි පරිගණකකරණය සහ විශ්ලේෂණය වැනි සංකීර්ණ ක්‍රියාවලියක් ඇතුළත් වන බැවින් සංවර්ධනය වෙමින් පවතින රටකට සාගර අනාවැකි සඳහා විශාල ආයෝජනයක් කිරීම පහසු නොවේ. මෙම තත්වයන් යටතේ, ඕස්ට්‍රේලියානු රජය විසින් වෙන් කරන ලද ප්‍රදානයක් හරහා අපට සාගර පුරෝකථන වෙබ් අඩවියක් ලබා දීම පිළිබඳ ව අපි බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයට සැබවින් ම කෘතඥ වෙනවා.

    මම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙයට මූලිකත්වය ගත් නිසා මුල සිට ම මේ සමඟ සම්බන්ධ විමට හැකි වුණා.

    ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් යටතේ බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව නාරා ආයතනය යටතේ සුළං, දියවැල්, රළ සහ කුණාටු ඇතිවීම පිළිබඳ දින පහක් දක්වා පුරෝකථනය කළ හැකි වඩාත් පුළුල් සාගර අනාවැකි පද්ධතියක් කරා ප්‍රගතියක් ලබාගැනීමට සැලසුම් කර ඇති බව සටහන් කිරීමට මම සතුටු වෙනවා.

    තවත් සිත්ගන්නා කරුණක් නම්, අනෙකුත් ආකෘති ඒකාබද්ධ කිරීම හරහා තෙල් හා රසායනික කාන්දුවීම් පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා වූ උපපද්ධති අනාවැකි පද්ධතිය සහ වෙබ් අතුරු මුහුණතට ඇතුළත් වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් යාත්‍රාව සම්බන්ධ බරපතළ සමුද්‍ර ව්‍යසනයකට පසුගිය කාලයේ අපි මුහුණ දුන්නා. එම ව්‍යසනය මඟින් විශ්වාස කළ හැකි සාගර පුරෝකථන පද්ධතියක අත්‍යවශ්‍ය බව මතු වූ අතර Sri Lanka Ocean Forecast වෙබ් අඩවිය දියත් කිරීමත් සමඟ අප ඒ දෙසට යොමු වීම පිළිබඳ මම සතුටට පත් වෙනවා.

    බටහිර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චරිත හෙට්ටිආරච්චි මහතා

    මේ වෙබ් අඩවිය මෙරට භාවිතා වන ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම පරිශිලනය කළ හැකියි. කාලගුණික තත්ත්වයන් අනුව මිනිස් ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීමට මෙමගින් හැකි වෙනවා. නිසි සැලසුමකින් යුතුව අනාගතය කරා යාමේ හැකියාවයි මෙමගින් ලැබෙන්නේ. එය දියුණු රාජ්‍යයක ලක්ෂණයක්.

    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, නාරා ආයතනයේ සභාපති ආචාර්ය නිමල් කුමාරසිංහ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, සාගර විශ්වවිද්‍යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළ තීරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya