ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි.
පසුගිය කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
2015 නව ඖෂධ පනත සම්මත කිරීමත් සමඟ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය ස්ථාපිත කෙරිණි. රට තුළ ඖෂධ මිල පාලනයට සහ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමේදී කොන්දේසි විරහිත කාර්යභාරයක් ඉටු කරන මෙම සංගමය රජයේ වකුගඩු අරමුදල සහ සෞඛ්‍ය අරමුදල ශක්තිමත් කිරීම ඇතුලු සමාජ සද්කාර රැසක් සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති දේශමාන්‍ය චන්දික ගන්කන්ද මහතා වෙත සහ හොඳම දිස්ත්‍රික් සංගම් සහ නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,
පසුගිය කොරෝනා වසංගත සමයේ දි රටට අවශය ඖෂධ ලබා දීම පිළිබඳ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට රජය වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. රට අසීරු අවස්ථාවකට මුහුණ දී සිටියදී සහ රජයේ ආයතන කඩා වැටීමකට ලක්ව තිබූ අවස්ථාවක ඔබ ඉදිරියට පැමිණ ඔබේ වගකීම ඉටු කළා.
ඒ වගේම වර්තමනයේ මතුව ඇති ගැටළු පිළිබඳවද ඔබ සංගමය කළ දැනුම් දීම අනුව ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා. අද මේ රටේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින්නේ නම් ඒ ඔබේ උත්සාහය නිසා බව කිවයුතුයි. පසුගිය කාලයේ රටට අවශ්‍ය ඖෂධ ලබා ගැනිමට මුදල් තිබුණේ නැහැ. නමුත් ඔබ එම අසීරු අවස්ථාවේ පැන ගියේ නැහැ. නමුත් ඔබ ඔබේ යුතුකම ඉටු කළා. අප රටේ සියලුදෙනාගෙන් බලාපොරොත්තු වන්නේ එයයි. නමුත් අවාසනාවකට එය සිදු වන්නේ නැහැ.
මම මේ රට භාරගන්නා විට රට ඉතා අසීරු තත්ත්වයක පැවතුනා. රටේ විදේශ විනිමය තිබුණේ නැහැ. අවශ්‍ය ඖෂධ, ඉන්ධන ගෙන්වා ගැනීමට මුදල් තිබුණේ නැහැ. ලැබුණු මුදල් ප්‍රමාණය ඉන්ධනවලට ලබාදෙනවාද, පොහොරවලට ලබා දෙනවද කියා තීරණය කිරීමට සිදු වුණා. නමුත් අප පොහොර ලබාගෙන කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළා. ඒ තුළින් නිෂ්පාදන කටයුතු ඉහළ නංවා ගනිමින් ජනතාවට අවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළා. මෙවන්අසීරු තත්ත්වයක් අප පසු කළා. ඉන්දීය රජයෙන් ලැබුණු මුදල් නිසා ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම බංග්ලාදේශයෙන් ලැබුණු මුදල් නිසා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වුණා.
කෙසේ හෝ අප රටක් ලෙස බොහෝ අසීරුවෙන් පළවෙනි මාස 06 පසු කළා. ඉන්පසුව රට ක්‍රමානුකූලව දියුණුවීමට පටන් ගත්තා.
ජනතාව ඔබ ළගට පැමිණ මුදල් නොමැතිව ඖෂධ ඉල්ලා සිටි අවස්ථා තිබුණා. ඔවුන්ට ඖෂධ ලබා නොදී මරණය වැළඳ ගැනීමට කියනවද, නැතිනම් පාඩු විදගෙන එම ඖෂධ ලබා දෙනවාද කියා තීරණය කිරීමට ඔබට සිදු වුණා. අප සියලුදෙනාට එම අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අපි සියලුදෙනා අසීරුවෙන් හෝ එම තීරණ ගත් නිසා රටක් ලෙස ඉදිරියට පැමිණ සිටිනවා. ඒ වගේම වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. මෙම තීරණ සමග රටේ ආදායම් මාර්ග ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වී ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා.
අප පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල දෙවන වටයේ සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ නිවැරැදි බවට සහතිකයක් එහිදී හිමි වුණා. ඒ අනුව අපට ණය ගෙවීම සඳහා කාලය ලැබී තිබෙනවා. ඒ වගේම මෙම වැඩකටයුතු අවසන් කිරීම පිළිබඳ අප මේ වන විට චිනය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම පැරිස් සංගමයේ රටවල් සහ පැරිස් සංගමයට අයත් නොවන රටවල් සමගත් නිල වශයෙන් අප ණය දෙන රටවල කමිටුව සමඟත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. මේ විදියට රට වැටී තිබු ආගාධයෙන් දැන් එළියට එමින් සිටිනවා. නමුත් එයින් ගමන අවසන් වන්නේ නැහැ.ඇයි අපි රටක් ලෙස අගාධයට වැටුණේ කියා අවධානය යොමු කළයුතුයි.
අප මේ රටේ කිසිදිනක අපනයන කර්මාන්තයක් ඇති කළේ නැහැ. අපට අවස්ථා තිබු නමුත් අප ඒ සියලු අවස්ථා අතහැරියා. මම 1979 චීනයට යන විට චීනය අපට වඩා දුප්පත් රටක්. දැන් චීනය අපට මුදල් දෙනවා. 1991 මම කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමු වුණා. ඔබ ආයෝජන ලබා ගත්තේ කොහොමද, විදේශ විනිමය ලබා ගත්තේ කොහොමද, වෙළෙඳ කලාප ඇති කළේ කොහොමද කියා ඔහු මගෙන් ප්‍රශ්න කර උපදෙස් ලබා ගත්තා. ඔහු මම දුන් උපදෙස් සටහන් කරගත්තා. නමුත් දැන් මම වියට්නාමයට ගියොත් මට ඔහු කියන දේ සටහන් කර ගැනීමට සිදු වෙනවා.අප අපට තිබු සියලු අවස්ථා අතහැරියා. අප මෙය නිවැරදි කර ගනිමින් නව ආර්ථිකයක් කරා ගමන් නොකළහොත් නැවත රටක් ලෙස අගාධයට ඇද වැටෙනවා. අප නැවත වරක් එම අදුරු යුගයකයට යා යුතුද, දැන් අප නව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කර තිබෙනවා. පැරණි ක්‍රමයෙන් ඉවත්ව අලුත් ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් ලබන එම දියුණුවත් සමග අපත් ඉදිරියට යා යුතුයි. තරගකාරි ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණය භාවිතා කළ යුතුයි. අප අලුතින් සිතා අලුත් රටක් නිර්මාණය කරමු.
කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකතාව පවත්වා ගෙන යාම සඳහා සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය ලබා දෙන දායකත්වය ඇගයීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන් මෙරට ඖෂධ මිල පාලනයට මෙන්ම රටතුළ ඖෂධ හිඟයකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කොන්දේසි විරහිතව ඔවුන් ලබා දෙන සහාය මම සිහිපත් කරනවා.
මේ රටේ ජනතාවගේ සෞඛ්‍යසම්පන්න බව රඳා පවතින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් මතයි. ලෝකය සමඟ සසඳා බලද්දී අපේ රටේ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතිනවා. මේ රටේ රෝගීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ නීතියක් ගෙන ඒමට නුදුරේදීම කටයුතු කරනවා.
ඒ වගේම පුනරුත්ථාපනය සහ සහන සත්කාර සේවාවන් ශක්තිමත් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. ලෝක තරඟකාරීත්වය හමුවේ රටක් වශයෙන් ඉදිරියට යාමේ අභියෝගය අප සාර්ථකව ජය ගෙන තිබෙනවා.
නිදහස් ශ්‍රී ලංකාවේ රෝහල්, වෛද්‍යවරු, හෙදියන් සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මකව වර්ධනය වී තිබෙනවා. භෞතික පහසුකම් විශාල වශයෙන් වැඩි දියුණු වී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සඳහා අයවැය තුළින් ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් කර තිබෙනවා. ඒ අනුව වඩාත් යහපත් රෝගී සත්කාර සේවාවක් වෙනුවෙන් ඔබේද සහාය ඇතිව අප කැප වෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය කියන්නේ රටට ලාභ වෙනවා නම් තමන්ට පාඩු වූවාට කමක් නෑ කියා කටයුතු කළ සංගමයක්. ඔවුන් පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදයේදී ලාභය නොතකා සේවය ලබා දුන්නා. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේද එයයි. එතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකිවෙයි කියා අපද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළි ගන්න වෙනවා.
බංකොලොත් වූ රටවල් අතරින් මේ තරම් ඉක්මණින් රටක් සාමාන්‍යකරණයට පත් වූයේ ශ්‍රී ලංකාව බව ලෝකය පිළිගන්නවා. එය ලෝකය අගය කරනවා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බූදයෙන් සාමාන්‍යකරණය වීම ආර්ථික විශ්ව කර්මයක් බව ලෝකය පවසනවා. ඔවුන් පවසන්නේ කඩා වැටුණ ආර්ථිකයක් මේ තරම් ඉක්මණින් ගොඩ එනවා දැක නැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතියෝපියාවේ ආර්ථිකය ගොඩ නැඟීමේදී ශ්‍රී ලංකාවේ වික්‍රමසිංහ දෙස බලන්න කියා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අපේ රටේ අය එතුමාට දෝෂාරෝපණය කරනවා. අප සියලුදෙනා රටේ මෙම සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභපති දේශමාන්‍ය චන්දික ගන්කන්ද මහතා,
මීට වසර දෙකකට පෙර මේ රටේ තිබු තත්ත්වය මා කිව යුතු නැහැ. ඒ අවස්ථාවේ ඖෂධශාලා විවෘත කර රටේ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමට අප කටයුතු කළා. එදා ෆාමසි ඉදිරිපිට කිලෝ මීටර් ගණන් දිගු පෝලිම් තිබුණා. නමුත් මුදල් දීවත් ගන්න බෙහෙත් තිබුණේ නෑ. ජීවත් වෙන්න බෙහෙත් නැති කාලයක් තිබුණේ. එවැනි යුගයකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තේ.
එදා පවුලේ තුන් දෙනෙක් සිටියා නම් පෝලිම් තුනකයි සිටියේ. බෙහෙත් ටික බෙදා හරින්න ඉන්ධන තිබුණේ නැහැ. එහෙම යුගයක් නිමාවට පත් කරමින් රටේ වාසනාවට එක් මන්ත්‍රී ආසනයක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය බාර ගත්තා. එසේ නොවන්නට පාන් ගෙඩියටත් මිනී මරා ගන්න යුගයකට අපට මුහුණ දීමට සිදු වෙනවා. රට නැවත හිස ඔසවමින් සිටින අවස්ථාවක අද මේ අයුරින් අපේ ව්‍යාපාර රැක ගැනීමට සහාය ලබාදීම පිළිබඳව මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ අනුශාසක පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් ද , පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින්, සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.