නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්මත වූ විට වසර 75 ක් පුරාවට කළ නොහැකි වූ නීතිගත කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ වෙනවා

    ජූනි 20, 2024

    යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්මත වූ විට වසර 75 ක් පුරාවට කළ නොහැකි වූ නීතිගත කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.


    යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    1949 දී යුනෙස්කෝ සාමාජිකත්වය අපි ගත්තා. යුනෙස්කෝ සංවිධානයේ අරමුණුවලට ගැළපෙන පරිදි කොමිෂන් සභාව පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පිහිටුවීම මේ පනතෙන් සිදු කරනවා. මේ පනත මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට බැඳීමක් ඇති කරලා නැහැ. මේ වගේ අන්තර්ජාතික පනත් ඕනෑ තරම් ගේනවා. කොමිෂන් සභාව පිහිටුවීම සඳහා තමයි අපි මේ පනත් කෙටුම්පත ගේන්නේ. යුනෙස්කෝවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකත්වයට අපි කිහිපවතාවක් තේරී පත්ව තිබෙනවා. අපේ රටේ තිබෙන මහාවංශය යුනෙස්කෝව විසින් පිළිගෙන තිබෙනවා. පොළොන්නරුව, සීගිරිය, ඉහළ තෙත් බිම්, ගාල්ල කොටුව, රංගිරි දඹුල්ල, අනුරාධපුර නගරය, මහනුවර නගරය, සිංහරාජ වනාන්තරය ලෝක උරුම ලෙස යුනෙස්කෝව පිළිගෙන තිබෙනවා. ඒවා නඩත්තුවට තාක්ෂණය, මුදල් ලබාදීමත් යුනෙස්කෝව සිදු කරනවා. යුනෙස්කෝවේ අධ්‍යක්ෂ ජනරාල් දින තුනක සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එහිදී අධ්‍යාපනික, විද්‍යාත්මක, සංස්කෘතික ක්ෂේත්‍රවල සංචාරයට නියමිතයි. ලෝක පරිසර විපර්යාසයන් සමඟ පරිසර හානි වළක්වා ගැනීම යුනෙස්කෝවේ මාතෘකාවක් වී තිබෙනවා. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට පරිසරය සම්බන්ධයෙන් විශේෂ ඉගැන්වීම් සිදු කිරීමට අපි අවධානය යොමු කරනවා.
    මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණේ නැහැ. නමුත් ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරිපත් වූ සංශෝධන දෙකම කමිටු අවස්ථාවට ගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගෙන තිබෙනවා. තව යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එය කමිටු අවස්ථාවට මේ වේලාවේ ගැනීම දුෂ්කරයි. කොමිෂන් සභාවේ තිබෙන අරමුදල්වලින් යම් ඉතිරියක් තිබෙන්නේ නම් එය වෙනත් විෂය ක්ෂේත්‍රයකට මාරු කළ නොහැකියි. එය ප්‍රතිපත්තිමය කාරණාවක්. බංකොළොත් අවස්ථාවක් රටවල් 144 ක සහාය මත අපට යුනෙස්කෝවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමට හැකි වුණා. එම ජයග්‍රහණය පත්වෙන ඕනෑම අධ්‍යාපන ඇමැතිවරයෙකුට භුක්ති විඳගෙන යාමට පුළුවන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya