ජූලි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙනවා

    ජූනි 17, 2024

    2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය.

    අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එසේම සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම වෙනුවෙන් තම අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ ඒ මහතා 2022 වර්ෂයේදී 273ක් හා 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් සකස් කර දී තිබෙන බවද සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මෙසේද පැවසීය,

    නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ගෙවී ගිය වසර දෙකක කාලය තුළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

    මෙම කාල පරිච්ඡේදය වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙනවා.

    අප අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ 29ක්, 2023 වර්ෂයේ 17ක්, 2024 වර්ෂයේ මේ දක්වා 13ක් ලෙස නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. තවත් කෙටුම්පත් 07ක් නුදුරේදීම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතයි. ඒ වගේම තවත් ඉතා වැදගත් නීති සංශෝධන 44ක කටයුතු බොහෝ දුරට අවසන්ව තිබෙන බවද කිව යුතුයි. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය විසින් සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බව මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

    ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අනෙක් අමාත්‍යාංශ සඳහා 2022 වර්ෂයේදී 273ක්, 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම් පත් සකස් කර දී තිබෙනවා.

    අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමෙන් ජනතාවගේ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. එමඟින් නඩුකටයුතුවලට අදාළ දේපළ ආර්ථික සංවර්ධනයට යොදා ගත හැකි වෙනවා. ඒ වගේම යහපත් ආයෝජන පරිසරයක් ගොඩ නැ‍ඟෙනවා . මේ අනුව නීතියේ ප්‍රමාදයත් ආර්ථික සංවර්ධනයත් අතර සෘජු සම්බන්ධයක් තිබෙන බව පැහැදිලියි.

    2017 වසරේදී නෛතික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නිකුත් කළ වාර්තාවට අනුව අපරාධ නඩුවක් අවසන් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු 17ක් පමණ ගතවෙනවා. විවිධ අධ්‍යනයන් ට අනුව ඉඩම්, බෙදුම් සහ තෙස්තමේන්තු නඩුවක් අවසන් වීමට පරම්පරාවකට වැඩි කාලයක් ගතවන බව දක්නට ලැබෙනවා . අප මෙම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා.

    ඒ සඳහා ප්‍රධාන විසඳුමක් ලෙස අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ඩිජිටල්කරණය මෙන්ම විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අමාත්‍යාංශය තුළ

    මෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළ මේ වන විටත් සිදු කර තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ වසර 42කට පසුව උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 14 දෙනෙකුගෙන් වැඩි කර ගැනීමට හැකි වුණා. ආර්ථිකයේ පැවති අසීරු තත්ත්වය යටතේ වුවද පසුගිය වසර 2 තුළ අවස්ථා දෙකකදී අධිකරණ නිලධාරීන් 76ක් බඳවා ගනු ලැබුවා. එසේම අවස්ථා දෙකකදී 34 දෙනකුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස උසස් කළා. මේ නිසා අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමටත් නව අධිකරණ හඳුන්වා දීමටත් හැකි වුණා.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ ශාලා 3 සිට 5 දක්වා වැඩි කිරීමත්, අභියාචනාධිකරණය අධිකරණ ශාලා 5 සිට 10 දක්වා වැඩි කිරීමත් මේ කාලය තුළ සිදු කළා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදී නීතිඥවරුන් ඇතුළු පුරවැසියන්ට විශාල පහසුවක් සලසා දී තිබෙන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.

    ඒ වගේම ව්‍යාපාර කිරීමේ පහසුව දර්ශකයේ (Ease of doing business) ඉහළට පැමිණීම, විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් ඉතාම වැදගත්. වාණිජ ආරවුල් විසඳීම සඳහා බස්නාහිර පළාතේ වාණිජ මහාධිකරණ 4ක් ස්ථාපිත කොට ඇති අතර, තවත් වාණිජ මහාධිකරණ ස්ථාපිත කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ වගේම වරාය නගර (Port city) ව්‍යාපෘතිය සමඟ නිර්මාණය වූ නව ආයෝජන තත්ත්වය සඳහා ආයෝජකයන්ගේ ආරවුල් ඉක්මණින් විසඳීමට ආයෝජන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ද සිදු කරමින් තිබෙනවා.

    තවද හිතකර ආයෝජන පරිසරයක් ගොඩනැඟීම සඳහා ගිවිසුම් බලාත්මක කිරීමේ කාර්ය සාධන බලකායක්ද (Enforcing Contract Task Force) ක්‍රියාත්මක වෙනවා.

    2023 වර්ෂයේ සිවිල් නඩු විධාන සංග්‍රහයට සිදුකළ සංශෝධනය මඟින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ක්‍රමය හඳුන්වා දී තිබෙන නිසා නඩු විභාග කඩිනමින් සිදු කිරීමට හැකි වී තිබෙනවා. ඉදිරියේදී පූර්ව නඩු විභාග වෙනමම විනිශ්චයකාරවරයන් යටතේ කඩිනමින් සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා.

    දිසා අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු සංඛ්‍යාවෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් මුදල් සම්බන්ධ නඩු බව පැවසිය යුතුයි. මේ ආකාරයට අධිකරණයවලට එන මුදල් නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහා සමථ මණ්ඩලවල මූල්‍ය සීමාව ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවනු ලැබුවා.

    ඒ වගේම 2022 වර්ෂයේදී අධිකරණ ව්‍යුහයට නව වෙනස්කමක් ඇති කරමින් සුළු හිමිකම් අධිකරණ හඳුන්වා දීමට අමාත්‍යාංශය කටයුතු කළා. මෙම අධිකරණයට රුපියල් මිලියන 2ක් දක්වා මූල්‍ය ආරවුල් යොමු කළ හැකියි. මෙම අධිකරණයේ ලඝු කාර්ය පටිපාටිය අනුගමනය කරන බැවින් ඉතාමත් ඉක්මණින් මූල්‍ය ආරවුල් විසඳීමේ හැකියාව ලැබෙනවා. දැනට වෙනමම සුළු හිමිකම් අධිකරණ කොළඹ, මහනුවර සහ මාතලේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අනෙකුත් ප්‍රදේශවල මෙම සුළු හිමිකම් අධිකරණ වෙනම පිහිටුවීමට පහසුකම් සපයනවා. එතෙක් මෙම අධිකරණ ක්‍රියාපටිපාටිය දිසා අධිකරණවලම ක්‍රියාත්මක වෙනවා.

    අධිකරණ කලාප නීර්ණය කිරීමේ කමිටුව විසින් ග්‍රාමීය ජනතාවට යුක්තිය සඳහා ප්‍රවේශය පහසු කිරීමට නව අධිකරණ රැසක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව මොරවැව ප්‍රදේශයේ සංචාරක අධිකරණයක් ආරම්භ කළඅතර, ඉදිරියේදී තවදුරටත් ඉහත වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මැදවච්චිය, කහටගස්දිගිලිය, නොච්චියාගම, කලවංචිකුඩි, නාරම්මල, කලවාන සංචාරක අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ දක්වා උසස් කිරීමට කටයුතු කළා. එසේම පසුගිය වසර දෙක තුළ තවත් අතිරේක අධිකරණ කිහිපයක්ම ස්ථාපිත කළ බවද සඳහන් කළ යුතුයි.

    තවද අධිකරණයට යාම වෙනුවට ආරවුල් සමථකරණය කිරීමේ කටයුත්ත මේ වන විට ශක්තිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරවුල් නිරවුල් කිරීමේ ප්‍රතිශතය 70% කට ආසන්න ප්‍රමාණයක තිබීම ඉතාමත් ප්‍රශංශනීය බවත්, එය ජාත්‍යයන්තරවද ඇගයීමට ලක් වී තිබෙන බව මේ අවස්ථාවේ සඳහන් කිරීමට කැමතියි.

    මහජනතාවට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය යන ආයතන ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කර තිබෙනවා.

    ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මඟින් 2023 වර්ෂයේදී පමණක් පුද්ගලයන් 182,579 කට එහි සේවය ලබා දී තිබෙනවා.

    සෑම පුරවැසියෙකුටම සමානව සලකමින් ජාතික අනන්‍යතාවට ගරු කරමින් සාමය අගයන්නා වූත් ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම උදෙසා ජාතික සමගිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, හානිපූර්ණය පිළිබඳ කාර්යාලය කටයුතු කරනවා. ඊට අවශ්‍ය නීති සංශෝධන සිදු කර අවශ්‍ය සියළුම මගපෙන්වීම් අමතාංශ්‍යය මඟින් සිදු කරනු ලබනවා.

    අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් මහත්මිය,

    ගෙවී ගිය වසර දෙකක කාලය බොහෝ නීති සම්පාදනය කළ, අලුත් නීති සම්මත කළ හා පවතින නීති යාවත්කාලීන කළ කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකියි. 21 වෙනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 20 වන සංශෝධනයේ සාධනීය ගුණාංග පවත්වා ගැනීමට කටයුතු කළා. විශේෂයෙන් 21 වන සංශෝධනය තුළින් අරගලයේ දී මතු වූ කාරණාවක් වන ස්වාධීන කොමිෂන් සභා සියල්ල නැවත ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා. ජනාධිපතිවරයකු ගේ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව, රජයේ උසස් තනතුරු සඳහා ව්‍යවස්ථාදායක සභවේ අනුමැතිය ලබා ගැනීම, මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ දීද ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීම වැනි සාධනීය කරුණු රැසක් එහි අන්තර්ගතයි.

    තවද දූෂණ විරෝධී පනත, ජලාශ්‍රිත පනත වැනි වඩාත් වැදගත් පනත් ගෙනවිත් තිබෙනවා. අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ලඟ තබා ගත හොත් මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කර තිබෙනවා.

    තවද මෑතකදි ගෙන එනු ලැබූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මඟින් ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුම අදාළ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 21ක් තුළ තමන් විසින් වියදම් කළ මුදල් පිළිබඳව වාර්තා කළ යුතු වෙනවා. මෙය ඉතා සාධනීය පියවරක් බව කිව යුතුයි.

    එසේම වානිජ මහාධිකරණය තුළ අවශ්‍ය නම් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නඩු ඇසීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

    මීට අමතරව මාර්ගගත ක්‍රමයට නඩු විභාගට ගැනීම මේ වන විට සිදු කෙරෙන අතර අධිකරණයට යොමු නොවී නඩු විසඳා ගැනීම සඳහා නව බේරුම්කරණ නීතියක් ද මේ වන විට නීතිපතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

    මේ ආකාරයෙන් නඩු කටයුතු ඉක්මණින් හා ක්‍රමවත්ව අවසන් කිරීමට හැකි වන ක්‍රියාමාර්ග රැසක් මෙම නව අණ පනත් හරහා ගෙන ඇති බව කිව හැකියි.

    අතිරේක ලේකම් (නීති ප්‍රතිසංස්කරණ) ක්‍රිෂාන්ති මීගහපොල මහත්මිය,

    අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ සියළු ආයතන සම්බන්ධ කරමින් Court Community Platform මෘදුකාංගයක් හඳුන්වා දීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අනෙකුත් තාක්ෂණික සහාය ලබා ගනිමින් නිර්මාණය කරමින් පවතිනව. මෙහිදී ශ්‍රී ලංකාවෙ සියළුම අධිකරණ අදියර 3ක් යටතේ ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.ඒ සඳහා යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් යටතේ තාක්ෂණික දායකත්වයත් ලබා ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වන නියමු ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මකයි.

    ඒ වගේම ඇප අයදුම් කිරීම සහ ඇප ලබාදීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදය ඔස්සේ සිදු කරනවා. තව ද කොළඹ අධිකරණ කිහිපයක් තුළ ඩිජිටල් ප්‍රදර්ශ පුවරු සවි කිරීම තුළින් අධිකරණ ශාලා තුළ පුද්ගලයින් රැස්වීම සීමා කර තිබෙනවා. එසේම ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතියක් ද හඳුන්වල දී තිබෙනවා. එහි මීලඟ අදියර ලෙස online payment system එකකට යෑමටත් නියමිතයි.

    අතිරේක ලේකම් (ඉංජිනේරු) එස්.ඒ. කේ. සුබසිංහ මහත්මිය,

    පසුගිය 2022 වසරේ රුපියල් මිලියන 4862ක් හා 2023දී රුපියල් මිලියන 2748ක්, 2024 වර්ෂයට අදාළව රුපියල් මිලියන 2743ක් වශයෙන් අප අමාත්‍යාංශයට ප්‍රතිපාදන ලැබී තිබෙනවා. එම ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් අවශ්‍යතාවය මත මේ දක්වා රත්නපුර, වැලිමඩ සහ තෙල්දෙනිය අධිකරණ සංකීර්ණ 03ක් විවෘත කර තිබෙනවා.

    පසුගිය වසරේදී කුරුණෑගල ද්විත්ව නිල නිවාසයක් ඉදිකර තිබෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ අධිකරණ සේවා කොමිෂන් සභා ගොඩනැගිල්ලද නවීකරණය කර තිබෙනවා. ගාල්ල අධිකරණ සංකීර්ණය දැනට ඉදි කරමින් පවතින අතර මහල් 16කින් යුත් කොළඹ 12 අධිකරණ සංකීර්ණයේ පළමු අදියර ලෙස මහල් 6ක ඉදිකිරීම් කටයුතු නිම කිරීමටද සැලසුම් කර තිබෙනවා.

    උපරිමාධිකරණ සංකීර්ණය සහ අභියාචනාධිකරණය ද නවීකරණය කරමින් තිබෙනවා. වාකරේ නව අධිකරණ ගොඩනැගිල්ලක් ඉදි වෙමින් පවතිනවා. ඒ වගේම ගම්පොල, හලාවත, මඩකලපුව අධිකරණ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ඉදිකරමින් පවතිනවා.

    රජයේ රස පරික්ෂක ඩී. සෙනෙවිරත්න මහත්මිය,

    මෙම දෙපාරත්මේන්තුවේ ප්‍රගතිය සඳහන් කළහොත් 2022,2023, 2024 වර්ෂ සඳහා දෙපාර්තමේන්තුවෙ ප්‍රගතිය මනින මිනුම වනුයේ අප විසින් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාණයයි. එහිදී 2022 වර්ෂයේදී නඩු භාණ්ඩ 42895ක් අපවෙත ලැබී තිබෙනවා. එයින් 40756ක වාර්තා නිකුත් කර තිබෙනවා. 2023 වර්ෂයේදී 58886ක් නඩු භාණ්ඩ වශයෙන් ලැබී තිබෙන අතර ඊට අදාළ වාර්තා 53253ක් නිකුත් කර තිබෙනවා.

    2022ට සාපේක්ෂව 2023 දි වාර්තා ලැබීම 37% ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර නඩු භාණ්ඩ පිළිබඳ වාර්තා නිකුත් කිරීම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී 30% වර්ධනයක් දක්වනවා.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. ටී. එන් උපුල්දෙණිය මහතා,

    පසුගිය වසර 02 තුළ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු වූ බව කිව යුතුයි. එමෙන්ම බන්ධනාගාරවල පවතින තදබදය කළමනාකරණය කිරීම සඳහා දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන පියවර රැසක් මේ වන විට ගෙන තිබෙනවා. ඒ අනුව දුම්බර, යාපනය, අඟුණකොළපැලැස්ස විතැන් කිරීමේ කටයුතු වසර 2ක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ බන්ධනාගාරය විතැන් කිරීමේ මූලික කටයුතුද මේ වන විට අවසන් බව කිව යුතුයි.

    හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජේ ක්‍රිෂ්ණමූර්ති මහත්මිය,

    හානිපූර්ණය සඳහා වන කාර්යාලය ප්‍රතිපත්ති හතක් පදනම් කර ගෙන පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. 2022 වසරේ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ චංචල දේපල සහ නිශ්චල දේපල සහ වාහන සඳහාත් අප තවමත් ජනතාවට මූල්‍ය සහන ගෙවමින් සිටිනවා. ඒ වගේම 2023 දෙසැම්බර් දක්වා පැමිණිලි 26,538ක් සඳහා අප මූල්‍ය සහන ලබාදී තිබෙනවා.

    අතිරේක ලේකම් (සංවර්ධන) ආර්. පී. එස්. සමන් කුමාරි,නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) නීතීඥ එස්. එම්. කේ. හපුආරච්චි , සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ටී. කේ. රත්නසූරිය ,ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සූරියආරච්චි , අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ දත්ත කළමනාකරණ ප්‍රධානී ඒ. එන් නුවන් යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya