නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ

    ජූනි 17, 2024

    ඉන්දියානු ණය ආධාර යටතේ ඉදි කරන ලද අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන   මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    කි. මී.14.78ක මෙම මාර්ගයට පාලම් දෙකක් ඇතුළත් වේ. මින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම්පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත් වෙයි.

    මහව ඕමන්ත ව්‍යාපෘතියේ අදියර හතර යටතේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1.8ක් වන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 220කි.

    සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රුපියල් මිලියන 430ක වියදමක් දරා තිබේ.

    අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැති දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දුම්රිය සහකාර වාණිජ අධිකාරි - අනුරාධපුර කාර්යාලය විවෘත කිරීමද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයින්ගේ සුරතින් සිදුවිය.

    අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවති සමාරම්භක උත්සවයෙන් අනතුරුව විශේෂ සමරු පළකය නිරාවරණය කල අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ගමන් කරමින් නව දුම්රිය මාර්ගයේ මංගල ගමනට එක් විය.

    උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

    "මේ අවස්ථාව ඓතිහාසික රජරට පුරවරයට පොසොන් උත්සවයක් සමග සුවිශේෂී වටිනාකමක් එක් වන අවස්ථාවක්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ 1993 වසරේ මැයි 28 වනදා මිහින්තලය හන්දියේ සිට  මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය විවෘත වුවත් එය ඵලදායි සහ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට රටට හැකියාවක් ලැබුණේ නැහැ. පොසොන් උත්සව සමය තුළ පමණක් කෙටි කාලයකට මාර්ගය එළිපෙහෙළි කර වසරකට වරක් පමණක් භාවිතා කරන මාර්ගයක් ලෙස මෙම මාර්ගය පැවතුණා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී විසල් අනුරාධපුර නගර ව්‍යාපෘතිය නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. එහිදී අප අපේක්‍ෂා කළේ ලෝකයේ විවිධ රටවලින් කොළඹට ආනයනය කරන භාණ්ඩ දුම්රිය මගින් අනුරාධපුරය හරහා මිහින්තලයට ප්‍රවාහනය කිරීමයි. එලෙස ප්‍රවාහනය කරන භාණ්ඩ මිහින්තලයේ ගබඩා වල සිට උතුරු, උතුරු මැද,නැගෙනහිර යන පළාත තුළ දිස්ත්‍රික දහයකට භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට මිහින්තලය පත්කිරීම එහි අරමුණයි. එමෙන්ම මෙම සියලු පළාත්වල අපනයනය අභිමුඛ කරගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රතිසැකසුම් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමද ඊට ඇතුළත්. එමෙන්ම මෙම ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන හුවමාරු කරන තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත් මෙම ප්‍රදේශය භාවිතා කිරීම එම සංකල්පයට ඇතුළත්. ඒ වෙනුවෙන් මිහින්තලේ විශ්වවිද්‍යාලය සහ එහි විද්වතුන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සියලු දෙනා ඒකාබද්ධව සකස් කරන ලද සැලසුමකට අනුව අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ තුළින් ඉතිහාසයේ මුළු රටේම කේන්ද්‍රීය සංවර්ධිතම නගරය බවට අනුරාධපුරය පත්වූ ආකාරයට එවැනිම සංවර්ධිත ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා.

    ඒ සඳහා තවත් උත්තේජනයක් සපයමින් වසර සිය ගණනක් ප්‍රතිසංස්කරණය නොවූ උතුරු දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස මට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කෝටි 3000කට අධික ණය මුදලක් අනුමත වී තිබුණා. නමුත් මීට පෙර විෂය භාරව කටයුතු කළ සෑම ඇමතිවරයකුම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අකමැති වූයේ ප්‍රතිසංස්කරණය සඳහා දුම්රිය මාර්ගය වසා දැමීම තුළින් මහජන විරෝධයක් මතුවනු ඇති බවට උපකල්පනය කරමින්. නමුත් රටේ අනාගතය වෙනුවෙන් පොදු ජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම වෙනුවෙන් උතුරු දුම්රිය මාර්ගය අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අප තීරණය කළා. එහි දෙවන අදියර අනුරාධපුර සිට මහව දක්වා මේ වන විට ආරම්භ කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කලත් නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවත් කෙටි කලකට එහි කටයුතු ප්‍රමාද වන බව අප දැනුවත් කර තිබෙනවා. කෙසේ නමුත් ඉදිරි මාස දෙකක කාලය තුළ එහි කටයුතු අවසන් කර කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අවම කිරීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

    එමෙන්ම මිහින්තලය දක්වා අද ආරම්භ කෙරෙන මෙම දුම්රිය මාර්ගය නැගෙනහිර පළාතේ  ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කර නව මාර්ගයක් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ වගකීම අද දිනයේ සිටම නිලධාරීන් වෙත භාරදෙනවා.

    අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා මෙම දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා පසුගිය දා අප අතරින් වෙන් වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්. කේ.ඩබ්ලිව බණ්ඩාර මහතා විශාල මෙහෙවරක් සිදු කළා. ඒ සඳහා පැරණි කොටස් යොදා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක්ද ඔහු විසින් යෝජනා කළා. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට, ඉන්දියාවේ ඉර්කොන් ආයතනයේද සහාය ඇතිව අනුරාධපුරයේ සිට මිහින්තලය හන්දිය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කර විවෘත කිරීමට අපට හැකියාව ලැබුණා. එතැන් සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය අපේ රටේ දුම්රිය ඉංජිනේරුවන්ගේ සහ කාර්මිකයින්ගේ කැපවීමෙන් සහ දායකත්වයෙන් පිරිමැසුම්දායක ලෙස නවීකරණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් කැප වූ දිවංගත දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්. කේ.ඩබ්ලිව බණ්ඩාර මහතාටත්, අනෙකුත් සියලූම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය සහ ප්‍රණාමය හිමි විය යුතුයි.

     සියලු දෙනාගේම කැපවීමෙන් ඉදිකළ නව දුම්රිය මාර්ගයේ මංගල ගමන සිදුකෙරෙන මේ මොහොතේ නව දුම්රිය මැදිරි ආදිය මිලදී ගැනීමේ අවශ්‍යතාවය පැවතුණත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය මේ මොහොතේ නැහැ.

    කෙසේ නමුත් මේ ව්‍යාපෘති සියල්ලේම ප්‍රගතිය පිළිබඳවද සලකා බලමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය තුළින් විසල් අනුරාධපුර ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක්‌ වෙන්කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව විසල් අනුරාධපුර දෙවැනි අදියර ඉදිරි මාසවලදී ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඒ තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආනයනකරුවන්, අපනයනකරුවන්, ගොවි ජනතාව, ව්‍යාපාරිකයින්ට රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ආදායම් වර්ධනය කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීමට විදේශ විනිමය  ඉපයීම සඳහා ආරම්භය සනිටුහන් කරන සෞභාග්‍යමත් යුගයක්‌ වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

    මීට පෙර 2001 වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් හැකිලීමකට ලක්වුණා.-1.4ක්‌ බවට පත්වුණා. ඒ අවස්ථාවේ මුදල් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මම. ලේකම් වරයා කටයුතු කලේ චරිත රත්වත්තේ මහතා. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද උපදෙස් අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹුණා. එම නියමයන් සහ කොන්දේසි අනුව සෘණ බවට පත්ව තිබුණු ආර්ථිකය වසරක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. නැවත වරක් එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කිරීම සඳහා අපට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව 2003 අංක තුන දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්මත කරනු ලැබුවා. ඒ තුළින් කවර රජයක් බලයට පත් වුවත් ක්‍රියාත්මක කළ යුතු නීතිය තුනක් ඉදිරිපත් කරනු ලැබුවා.

    2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක්‌ විය යුතු අතර කවර රජයක් බලයට පත්වුවත්  ඊට වඩා අඩු අගයක අයවැය පරතරය පවත්වාගත යුතු බව. එලෙස ක්‍රියාත්මක වූවානම් මේ ආකාරයට ණය වීමට සිදුවන්නේ නැහැ.

    දෙවැනි කොන්දේසිය වූයේ 2013 වන විට නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 65%ට අඩු කිරීම. එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූවානම් රට බංකොලොත් වන්නේවත්, ණය ගෙවා ගැනීමට නොහැකි වන්නේවත් නැහැ.

    තුන්වන කොන්දේසිය ශ්‍රී ලංකා රජය ණය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5ට වඩා ඇප වීමට නොහැකි බව. මේ කොන්දේසි තුනට අනුව 2003 සිට රජයන් ක්‍රියාත්මක වූවා නම් කිසිදු දිනක බංකොලොත් නොවන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීතිය පෙළගැස්වීමේ කාර්ය ඉටු කළ ලංකාවේ එකම දේශපාලනඥයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

     නමුත් අවාසනාවන්ත ලෙස දේශපාලනය පිළිබඳ පමණක් කල්පනා කළ විවිධ කණ්ඩායම් තාක්ෂණික සහ ආර්ථික මේ කරුණු නිවැරදිව කළමනාකරණය කළ නොහැකි වීම හේතුවෙන් එම පනතේ සියලු නීති වෙනස් කරමින් 2022 වන විට  රට බංකොලොත් භාවයට පත්වුණා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීරණය ණය ගිවිසුමක් යටතේ දැනට රට හුස්ම ගත හැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. සති මාස ගණනක් ඉන්ධන ගෑස් ඖෂධ නොමැතිව පෝලිම්වල ජනතාව මියගිය කාලයක් පැවතුණා. දරාගත නොහැකි තරමට භාණ්ඩ මිල ඉහළ ගියා. විනිමය සිදි මුළු රටම ගිනි ගන්නා තත්ත්වයකට පත් වුණා. ඒ තත්ත්වයෙන් රට නිදහස් කර ගැනීම  වෙනුවෙන් තාක්ෂණික වශයෙන් කැපකිරීම් රාශියක් සිදු කිරීමට විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු සියලු දෙනාට සිදුවුණා. මේ සියලු වෑයම් අසාර්ථක වී තුන්වන ණය වාරිකය ලබා ගැනීමට නොහැකි වූවානම් කවුරුන් ලංකාවේ ජනාධිපති වුවත්, ආණ්ඩු බලයට පත්වූවත් ආණ්ඩු පවත්වාගෙන යෑමට හැකිවන්නේ සති දෙකක් පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම් වලට එකඟ වී තිබෙන්නේ වැටී තිබෙන තත්ත්වයෙන් අපේ රට ගොඩ ගැනීම සඳහායි. එම සහයෝගය නොමැතිව අයවැය සකස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අයවැය සකස් කිරීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප විශ්‍රාම වැටුප් සහනාධාර කිසිවක් ගෙවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම නිසා මේ පත්ව තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා සංවර්ධනාත්මක කාර්ය රට පුරා නැවත ආරම්භ කිරීම සඳහාත් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි."

    අනුරාධපුරය අටමස්ථාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැති මෙම උත්සවය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ මහතා,හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතා, උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya